Press Release
Tuesday, 28 April 2009

තිස්ස - මංගල - රාවුෆ් - මනෝ විසින් නිකුත් කළ විශේෂ නිවේදනය!!

Imageත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද මෙහෙයුම් හී අවසානය කරා මේ වන විට රජය පැමිණ ඇති බැවින් බර අවි ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් අවි භාවිතා කිරීමෙන් වලකින ලෙසට රජය ආරක්‍ෂක හමුදාවන්ට නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රජය විසින් ඊයේ (27) නිකුත් කරන ලැබූ නිවේදනයක සඳහන් වේ.

 

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් එලෙස සඳහන් ව තිබියදී උතුරු ප්‍රදේශයේ හමුදාමය ක්‍රියාන්විතයන් අවසානයක් කරා ලඟාව තිබෙන බවට ශ්‍රී ලංකා රජය විසින් කළ නිවේදනය පිළිබඳව ඉන්දීය රජය ප්‍රසාදය පළ කරන බවත්, එම පියවර "එදිරිවාදිකම් නැවැත්වීමක්" ලෙසින් දකින බවත් ඉන්දීය ස්වදේශීය කටයුතු ඇමති පී. චිදම්බරම් පවසයි.

මෙම "එදිරිවාදිකම් නැවැත්වීම" විශේෂයෙන් මානුෂීය තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් එල්ල කළ බලපෑම් සහ ගත් උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් බව චිදම්බරම් මහතා පී. ටී. අයි. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.

මීට අමතරව තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මහතා තමන් විසින් ආරම්භ කරනු ලැබූ මාරාන්තික උපවාසය අවසන් කරමින් ප්‍රකාශ කර ඇතිතේ ශ්‍රී ලංකා රජය විසින් යුද්ධයේ අවසානය නිවේදනය කර ඇති නිසා තමන් උපවාසය අත්හරින බවයි.

ඉන්දීය දේශපාලන නායකයින්ගේ මෙම ප්‍රකාශ ජාත්‍යන්තර මාධ්‍ය තුල ප්‍රචාරය වීමත් සමඟ නැවතත් රජය නිවේදනය කොට ඇත්තේ ශ්‍රී ලංකා රජය සටන් විආමයකට හෝ එදිරිවාදිකම් පිටු දැකීමකට කිසිඳු ලෙසකින් එකඟ වී නැති බවයි.

මේ එකිනෙකට පරස්පර ප්‍රවෘත්ති වාර්තා හමුවේ මෙරට ජනතාවට ද විශේෂයෙන්ම වන්නියේ සිටින අහිංසක අවතැන් වූ දෙමල ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින ජාත්‍යන්තර ප්‍රජාවට ද සත්‍ය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රජයද නැතහෝත් ඉන්දිය දේශපාලඥයින්ද යන ගැටළුව මතුවී ඇත. එපමණක් ද නොව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ සංවේදී සියළු දෙනාටම මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමේ අයිතියක් ද ඇත.  

එසේ හෙයින් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වී ඇති සටන් විරාමයක් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවා අගමැතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් රටට සත්‍ය හෙළිදරව් කරන ලෙස අප රජයට බලකර කියා සිටිමු. පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි නම් ජනපතිවරයා විසින් වහාම ජාතිය අමතා සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මෙයට

තිස්ස අත්තනායක - එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්
මංගල සමරවීර - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශවයේ නායක
‍රාවුෆ් හකීම් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක
මනෝ ගනේෂන් - ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක

Last Updated ( Tuesday, 28 April 2009 )