Lanka News Web
Written by Admin   
Saturday, 13 February 2016

අද වෙනකොට එජාප මිනිස්සු අසරණ වෙලා සිටීම ගැන මගේ ලොකු කනගාටුවක් තියෙනවා-තිස්ස අත්තනායක

sdsdsdsd.jpgඉතිං තිස්ස අත්තනායක මහත්මයා මේ දිනවල ඔබේ දේශපාලන වැඩකටයුතු කොහොමද?
මේ දවස් වල රටේ දේශපාලනය තුළ සිද්ද වෙන දේවල් බලා ඉන්න එකයි මම කරන්නෙ. ක්‍රියාකාරී දේශපාලනයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මේ වෙනකොට රටේ සිද්ද වෙන දේශපාලන කටයුතු ගැන නම් ඒ තරම් තෘප්තිමත් භාවයකුත් නැහැ. මොකද විශේෂයෙන් මහජනතාව ලොකු පරිවර්තනය ක් අපේක්ෂා කරලා තමයි ජනාධිපතිවරණ යේ දී මෛතපාල සිරිසේන මහත්මයාව ජයග්‍රහණය කෙරෙව්වෙ. නමුත් අද වන විට ඒ අපේක්ෂා වන් එක එක බිඳ වැටෙමින් තියෙනවා. ඒ වගේම බිහි කරළා තියෙන ආණ්ඩුව ගැනත් මහජනතාව අප්‍රසාද යෙන් කතා කරනවා මට ඇහෙනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිතුමා අලුතින් නිර්මාණය කරන්න යන පක්ෂයට ඔබ දක්වනවද?

මගේ දේශපාලන ව්‍යාපාරය සහ අනාගතය පිළිබඳව මම තාමත් නිශ්චිත තීරණය ක් අරන් නැහැ. නමුත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා, ඒ වගේම හැම තැනම ප්‍රචාරය ක් යනවා ප්‍රභල විපක්ෂය ක් සකස් කිරීම පිළිබඳව. විශේෂයෙන්ම ශ්‍රීලනිප යේ නායකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සිටීම ගැන ශ්‍රීලනිප යේ බහුතරයකගේ අකමැත්තක් තමයි තියෙන්නෙ. ඒ නිසා අද වත්මන් ආණ්ඩුව ගෙන යන ක්‍රියාදාමයට එරෙහිව එයට මූණ දෙන්න විපක්ෂයක අවශ්‍යතාව ඉතා තදින් දැනෙනවා. ඒ නිසාම මහජනතාවට උවමනාව තියෙනවා ආණ්ඩුව කරන සියලු දේවල් හරියි කියලා කණ්ඩායම ක් නොවේ ආණ්ඩුව කරන වැරදි අඩුපාඩුකම් සහ පළිගැනීම් හා විවිධ දූෂණ ගැනත් කතා කරන වෙනම සවිධානයක් හැදීම මහජන අපේක්ෂා බවට පත් වෙලා තියෙනවා. ඒක විපක්ෂයේ තවත් පෙරමුණක් හෝ තවත් පක්ෂයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක් විඳියට මම දකිනවා. මොකද තියෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ඒකට මූණ දෙන ආකාරය මහජනතාවගේ තෘප්තියක් නැහැ. මං මේ වෙනකොට කිසිම සංවිධානයකට එකතු වෙලා නැහැ. නමුත් දැන් මට පේන දේ තමයි මහජනතාවගේ අවශ්‍යතාවය අනුව පෙනී සිටීම අවශ්‍යයයි. කියපු දේවල් කරන් නැති වුණාම මහජන අපේක්ෂාවන් බිඳ වැටෙනකොට රටේ ආපහු දූෂණය පිළිබඳව වංචාව පිළිබඳව චෝදනා එල්ල වෙනකොට ඒවට එරෙහිව සටන් කරන කණ්ඩායමක් ඕන. ඉතිං මම කාලයත් එක්ක ඒ සඳහා එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දිනවල වැඩිපුර කතා බහ වෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පැහැදිළිවම ඒක අමු අමුවෙම බොරුවක්නෙ. මොකද මේ රටේ මහජනතාව ඉල්ලපු ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එක තමයි ජනාධිපති ධූරය අහෝසි කිරීම. ඒකට සුදු හුණු ගාන්නවත් ඒක මොඩි ෆයි  කරන්නවත් නෙමේ ජනතාව කිව්වෙ, ජනාධිපති ධූරය සහමුලින්ම අහෝසි කරන්න තමයි මිනිස්සු පෙළ ගැහුණෙ. දෙවන කාරණය තමයි මැතිවරණ ක්‍රමය පිළිබඳව මහජනතාව ගේ අතෘප්තිමත් බාවයක් තියෙනවා. ඒ කිව්වෙ මේ සමානුපාතික ක්‍රමය වෙනුවට කේවල සහ සමානුපාතික ක්‍රමය මිශ්‍ර වෙච්ච යම් ඡන්ද ක්‍රමයක අවශ්‍යතාවය. ඒ කිව්වෙ ආසන ක්‍රමය පදනම් වුණ ධන්ද ක්‍රමයක් ඇති විය යුතුයි කියන එක. ඒ ප්‍රධාන කාරණා දෙක තමයි ව්‍යවස්ථාවෙන් මිනිස්සු බලාපොරොත්තු වුණේ. මහජනතාවගේ කැමැත්ත තියෙන්නෙ එවැනි සංශෝධනය ක් පිළිබඳව. එහෙම නැතුව මේ දැන් කතා කරන විඳයට ආණ්ඩුවේ සමහර නායකයන් එහෙම පිටින්ම අලුත් ව්‍යවස්ථාවක් ගැන නෙමෙයි කතා කරන්නෙ. ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මොකක්ද. ?. ඒක ශ්‍රී ලාංකික මහජනතාවගේ අවශ්‍යතාවයක් නෙමෙයිනෙ. මේක ඇත්තම කිව්වොත් බොහොම පැහැදිළිව පේන කාරණයක් තමයි මේක මේ ඇමරිකානු එක්සත් ජනපදයට නැත්නම් මහාබ්‍රිතාන්‍යයට ඉන්දියාවට ඕන විඳියට බලය බෙදන්න කරන සංශෝධනය ක්නෙ. මේක කරන්නෙ ඒ බලය බෙදීම කියන එක මේක ඇතුළට දාලා ආපහු වතාවක් මේ රටේ අවුලක් ඇති කිරීමේ ව්‍යාපාරයයි. තියෙන බලය ව්‍යවස්ථාවට අනුව බෙදලා කටයුතු කළා නම් ව්‍යවස්ථාවට අර්බුදයක් එන්නෙත් නැහැ. මිනිස්සු ඒ ගැන විරෝධයක් පළ කරන්නෙත් නැහැ. මේක ඇත්තටම ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ ඡන්ද ක්‍රමය අහෝසි කිරීම කියන එක පෙන්වලා ඇතුළෙන් බලය බෙදලා රටේ ව්‍යවස්ථාමය අවුලක් නිර්මාණය කරන්න ගන්න උත්සාහයක් කියලයි පේන්නෙ. බලය බෙදීම කියන එක කරදරයක් නෙමෙයි. හැබැයි බලය බෙදීම රටේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ද වෙන්න ඕන. එතනින් පිට ගිහිල්ලා ඒක කරනවා නම් ඒක අර්බුදකාරී තත්වයක්. ඉතිං හරියටම ඒක නංගි පෙන්වලා අක්කා දෙනවා වගේ වැඩක්. මේකෙන් පුදුම විඳියට මහජනතාව රවටන්න උත්සාහ ගන්න ක්‍රමයක්. අනිත් කාරණය තමයි වරක් මට මතකයි මේ ව්‍යවස්ථාව නිර්මාණය කරපු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා වරක් කිව්වා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ව්‍යවස්ථාව වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් හදුන්වලා දෙන්න යනකොට එතුමා කිව්වා මේ ව්‍යවස්ථාව කියන්නෙ දරුවෙක්. ඒ දරුවව බේසමක තියලා නාවනකොට ඒ නාවලා ඉවර වෙලා දරුවා පිටින්ම බේසමේ වතුර විසි කරන්නෙ නැහැ. විසි කළ යුත්තේ වතුර විතරයි කියලා. ඒක කිව්වෙ ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒක හඳන එක මිසක් මුළුමනින්ම මේ ව්‍යවස්ථාව අහෝසි කරලා දාලා විසි කරන්න ගියොත් වෙනත් අර්බුද මතුවෙයි කියලා තමා ජේ.ආර්. ජනාධිපතිතුමා කිව්වෙ. ඉතිං මම නම් මේක දකින්නෙ එහෙම පිටින්ම රටේ අනිත් ප්‍රශ්න අමතක කරලා ඒවා යටපත් කරවන්න මේ ව්‍යවස්ථාවක් ඉදිරියට දාලා ගෙනියන්න වැඩපිළිවලක් විතරයි කියලා.

බලය බෙදීම සම්බන්ධ කාරණයේදී විග්නේශ්වරන් මහතා කියන්නෙ අපේ රටට ගැලපෙන්නෙ ඒකීය ක්‍රමය වෙනුවට ස්කොට්ලන්ත ක්‍රමය බවයි. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

මම කියන්නෙ මේක පුංචි රටක් එතකොට මේකේ එහා කෙළවරේ ඉඳන් මේ කෙළවරට පැය හතරක් පහකදි යන්න පුළුවන් තත්වයක් තියෙන යම් සීමාවක තමා තියෙන්නෙ. හැම ජාතියක්ම හැම ආගමක්ම මේ රට ඇතුළෙත් ඉන්නෙත් ඕන. හැබැයි මේ තියෙන ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාව යටතේ උපරීම බලය බෙදීමක් පිළිබඳව අවසන් තැනකට ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ෆෙඩරල් ක්‍රමය ගේන්න ඕන කියන කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම වෙන වෙන දේහපාලන යෝජනා හා විසඳුම් ඉදිරිපත් කරන කණ්ඩායමකුත් ඉන්නවා. අපිට ලෝකයේ ආදර්ශ ගත යුතුයි. හැබැයි ඒ ආදර්ශයෙන් ගත යුත්තේ අපේ රට දෙකඩ කැඩෙන්න නෙමෙයි. අපේ රට වෙනම කොටසක් ඕන කියලා එල්ටීටීඊ සවිධානය අවුරුදු ගණනාවක් අපේ හමුදාව සමඟ යුද්ධ කළා. ජීවිත දහස් ගණනක් විතර නැති වෙලා තියෙනවා. එතකොට එතනදි අපේ ත්‍රිවිධ හමුදාව පොලීසිය මේ අය මේ සටන් කළේ අපේ ව්‍යවස්ථානුකූලව මිස ඉන් පිට යන්න බැහැ කියලා. අද අපි ගියොත් ස්කොට්ලන්ත ක්‍රමයට හෝ වෙනත් තියෙන ප්‍රාන්ත ක්‍රමයකට යනවා කියලා ඒකෙන් කියවෙන්නෙ මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් එක්සත් භාවය වෙනුවෙන් දිවිපිදූ දස දහස් ගණනක් අපේ හමුදාවේ සහ අපේ දේශපාලන නායකයන් හා සිවිල් ජනතාව ඇතුළු ඒ සියලු දෙනා වෙනුවෙන් කරන මහා අපරාධයක් විඳියටයි මං මේක දකින්නෙ. අනිත් එක තමයි ස්කොට්ලන්ත බලය බෙදීමේ ක්‍රමය ගැන කතා කරද්දි අපි අමතක කරන්න හොඳ නැහැ එකක්.  ස්කොට්ලන්තය එංගලන්තයේ කොටසක් හැටියට තියෙනවා කියන එක නාමික දෙයක් විතරයි. මොකද ස්කොට්ලන්තයට වෙනම පාර්ලිමේන්තුවක් තියෙනවා වෙනම මුදල් ඒකක, අගමැතිවරයෙක් වෙනම පාලනයක් විසින් තමයි කටයුතු කෙරෙන්නෙ. මේ ක්‍රමයට යනවා කියන්නෙ වෙනම රටක් දෙනවා කියන එකනෙ. ඉති ඒක නිසා එතනට තමයි වත්මන් ආණ්ඩුව තල්ලු වෙන්නෙ කියන එක අපිට දැනෙනවා.

වත්මන් ආණ්ඩුවේ ඔබ දකින සාධනීය ලක්ෂණ මොනවද?

මම සේරම විවේචනය කරනවා නෙමෙයි අඩුපාඩු ගැනයි කියන්නෙ. ඕන ආණ්ඩුවක සාධනීය දේවල් තියෙනවනෙ. දැන් රාජපක්ෂ ආණ්ඩුව ගත්තොත් ඒකට හොරකම භීෂණය දූෂණය සුදු වෑන් යන සේරම ගැන කතා කළානෙ. මමත් ඒ ගැන කතා කරපු කෙනෙක්නෙ. නමුත් සංවර්ධනය පැත්තෙන් සාධනීය ලක්ෂණ බොහොමයකුත් තියෙනවනෙ. සංවර්ධනය කරනකොට ඒකෙන් කොටසක් හොරකම් කළා කියලා ඇඟිල්ල දික් කරනකොට සංවර්ධනය එක පැත්තකින් සිද්ද වෙලා තියෙනවා. ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ වත්මන් ආණ්ඩුව දැන් අවුරුද්දක කාලයක් පහු කරලා ඉවරයි. හැබැයි මේ ආණ්ඩුව ගමට දැනෙන යමක් කරලා තියෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ එංගලන්තෙට හෝ ඇමරකාවට නැතිනම් තවත් කාටහරි ඕන විඳියට හැසිරීමම පමණක් සාධනීය ලක්ෂණයක් කියලා කියන්න බැහැනෙ. අපිට පැහැදිළිව කියන්න ඕන රටේ ආයෝජනය එහෙම පිටින්ම කඩන් වැටිලා රැකියා අර්බුදයක් විශාල වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා විරැකියාව එන්න එන්න වැඩි වෙනවා. නීතියේ ආධිපත්‍යයයේ බිඳ වැටීම් ගැන චෝදනා තියෙනවා. අද එක කණ්ඩායමකට එක විඳයකට නීතිය ක්‍රියාත්මක කරලා අනිත් කණ්ඩායමට වෙනත් විඳියකට ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුවෙ ඇතුළෙ ඉන්න අයම ඒක කියනවනෙ. මේ දේවල් මහජනයා බලාපොරොත්තු වුණ දේවල් නෙමේ. මහජනයා බලාපොරොත්තු වුණේ එහෙම පිටින්ම රාජපක්ෂ පාලනයට වඩා වෙනත් සාධනීය පාලනයක්. නමුත් ඒක වෙන්නෙ නෑ නෙ. දැන් බලන්න හොඳම උදාහරණය මහබැංකු වංචාව. ඒක කෝටි පන්දාහක වගේ ලොකු මුදලක්. හැබැයි මොකක්ද ඒ වෙනුවෙන් කළේ.?. කිසි දෙයක් කළේ නෑ නෙ. බොරුවට කෝප් කමිටුවක් පිහිටවපු එක විතරයි. අන්තිමට ඒ වාර්තාවත් පැත්තකට දාලා කොළේ වහලා දැම්මා. දැන් මහලොකුවට ඇවන්ගාඩ් සිද්දිය ගැන කතා කළා. නමුත් දැන් මුකුත් නෑ නෙ. ඒ වගේම පහුගිය කාලේ රටට එනවා කිව්ව ආයෝජන මුකුත් ඇවිල්ලත් නෑ නෙ. ඒකයි මම කිව්වෙ රටේ ජනතාවට දැනෙන සංවර්ධනයක් මේ ආණ්ඩුව කරලා නෑ. බලන්න කරන්න පුළුවන් දේවල් කරන්නෙත් නෑ. මේ දිනවල ඉතා අඩු මිලට ඉන්ධන අලෙවි වෙන්නෙ. නමුත් ඒ සහනය අපේ රටේ මිනිස්සුන්ට ලැබිලා නැහැ. මේ ආණෟඩුව කරන්නෙ දෙන්න පුළුවන් දේවලුත් නොදී ජනතාව හූරාගෙන කෑමක්.

දවස් විස්සක ඔබේ සෞඛ්‍ය ඇමති ධූරය ගැන දැන් මොකද හිතෙන්නෙ?

මට මැතිවරණ කාල සීමාව තුළ කෙටි වැඩකොටසකට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම ඇමතිවරයෙක් හැටියට මගේ අදහස් උදහස් හා සැළසුමක් අනුව වැඩ කරන්න මට වෙලාවක් තිබුණෙ නෑ. මොකද ජනාධිපතිවරණය ආසන්නව තිබුණ නිසා. යම් යම් අවස්ථාවක් දෙකක් උදා වුණා නිළධාරීණ් සමඟ ඇති වෙලා තිබුණ ගැටළු සහගත තත්වයන් ගැන කතා කරන්න. එතනින් එහාට යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. හැබැයි මම දැක්කා පහුගිය අමාත්‍යංශය තුළ විධිමත් සැළසුමක් හා පාලනයක් තිබුණෙ නෑ කියන එක.

මගේ අවසාන ප්‍රශ්නය තමයි දේශපාලනයෙන් ඔබ සමුගත් දිනෙක කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

මේ සියල්ල අමතක කරලා ඉන්න තමයි උවමනාව. ඇත්තටම දේශපාලනය කියන්නෙ මට ලොකු කලකිරීමක් තියෙන දෙයක්. මොකද හේතුව අර ධර්මපාලතුමා කිව්වා වගේ ලංකාවේ මිනිස්සුන්ට වැඩ කරනවා නම් බැනුම් අහන්න පුරුදු වෙලා ඉන්න ඕන. එහෙම නැතුව මිනිස්සුන්ට වැඩ කරන්න බෑ කියලා එතුමා කියලා තිබුණා. ඒක හරි. මොකද මිනිස්සු ඉක්මනින් සියල්ල අමතක කරලා දානවා. ඒ නිසා ඒ සියල්ල අපි විශ්‍රාම ගත්ත දවසක අමතක කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන. නැවත අපිට ප්‍රතික්‍රියා දක්වයි කියලා හිතන්න යන්න හොඳ නැහැ. එකක් තියෙන්නෙ මම වැඩකරන්න පුළුවන් කාලයෙන් සීයට අනූ නවයයි දශම නවයක්ම වැඩ කළේ එජාපයට. හැබැයි එජාපය තුළ තාමත් මගේ හදවතට දැනෙන්නෙ ඒ වෙනුවෙන් මහන්සි වුණ මිනිස්සුන්ට අද යමක් සිද්ද වෙන්නෙ නැහැ කියලා. ගමේ ඉන්න එජාප පාක්ෂිකයාට දැනෙන යමක් දිය යුතුයි. නමුත් අද වෙනකොට ඒ මිනිස්සු අසරණ වෙලා ඉන්න එක ගැන මගේ ලොකු කනගාටුවක් තියෙනවා.  

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන
Last Updated ( Saturday, 13 February 2016 )