Press Release
Written by Admin   
Friday, 14 August 2015

එක්සත් පුරවැසි පෙරමුණේ නායක තිස්ස අත්තනායක මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය 

tissa_attanayake_640x360_bbc.jpg

2015 අගෝස්තු 14 අගෝස්තු 17 වෙනිදාට පසු මේ රට දෙකඩ කිරීමට පිඹුරු පත් සකස් කර ඇති දුෂ්ඨ විජාතික බලවේග සහ ඒවායේ දේශීය ඒජන්තයින්ගේ දේශද්‍රෝහී කුමන්ත්‍රණය පරාජය කිරීමට හැක්කේ අගෝස්තු 17 වෙනිදා උදෑසනම ඡන්ද පොළට ගොස් බුලත් කොළය ලකුණට ඡන්දය දීමෙන් පමණක් බව වගකීමෙන් අවධාරණය කරමි. පසුගිය ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දී බුලත් කොළයට ඡන්දය දුන් ලක්ෂ 58 ක් වූ ජනතාව සෑම දෙනෙකුම අගෝස්තු 17 වෙනිදාට ද ඡන්ද පොළට ගොස් තම යුතුකම

 මේ උතුම් රට වෙනුවෙන් ඉෂ්ඨ කරනු ඇතැයි මම විශ්වාස කරමි. එසේ නොවුවහොත්, වසර දහස් ගණනක් පුරා අපේ මුතුන් මිත්තන් සිය ලේ-ඇට-මස්-දහදිය පූජාවෙන් ආරක්ෂා කර, අපේ පරම්පරාවට උරුම කර දුන් මේ රට අපේ මතු පරම්පරාවලට අහිමි වනු ඇත. එසේම, රට වෙනුවෙන් තමාගේ ජීවිතය පූජා කළ රණ විරුවන්ගේ කැපකිරීම්වල උතුම් අර්ථය ද අපි විනාශ කර දමනු ඇත. ඉතිහාසය පුරාම මේ රටේ කොටස් දෙවර්ගයක මිනිසුන් ජීවත් විය. ඒ රට ආරක්ෂා කළ දේශප්‍රේමීන් සහ පර සතුරු බලවේගවලට ගැතිකම් කරමින් රට පාවාදීමට උත්සාහ කළ දේශද්‍රෝහීන් වශයෙනි. අද දවසේ ද මේ රටේ ඒ දෙවර්ගයේම මිනිසුන් වාසය කරති. එයින් එක් කණ්ඩායමක් රට දෙකඩ නොකර ආරක්ෂා කරන්නට උත්සාහ කරන දේශප්‍රේමීන් වන අතර, අනෙක් කොටස පර සතුරු බලවේග වලට ගැතිකම් කරමින්, ඔවුන්ගේ දෙපා ලෙවකමින් රට දෙකඩ කිරීමට මාන බලන දේශද්‍රෝහීන් ය. එබැවින්, ඒ සියළුම දේශප්‍රේමීන්ගෙන් මා ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ රට දෙකඩ කරන්නට උත්සාහ දරන සියළු දුෂ්ඨ බලවේග විනාශ කර දැමීමේ අරමුණින්, පටු දේශපාලන භේද අමතක කර, මේ රට ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් ප්‍රතිඥා දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ට අගෝස්තු 17 වෙනිදා ඡන්දය ලබා දෙන ලෙසයි. මේ රට නොබෙදා, තනි රටක් ලෙස මතු පරම්පරාවලට උරුම කර දීම දේශප්‍රේමී සියළුම ජනතාව මත අද දවසේ පැවරී ඇති ඓතිහාසික වගකීම බව ද කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.

තිස්ස අත්තනායක නායක - එක්සත් පුරවැසි පෙරමුණ 2015 අගෝස්තු 14 වෙනිදා.

Last Updated ( Sunday, 16 August 2015 )