Press Release
Written by Admin   
Thursday, 18 June 2015

අල්ලස් කොමිසම තිස්සගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා තමාට ලබාදුන් අමාත්‍ය ධුරයේ කිසිදු නීති විරෝධී සිදුවීමක් නොමැති බැවින් තමාට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිතයි

තමාගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ දේශපාලන පළිගැනීම් උදෙසා-තිස්ස

 thissa-4-640x454.jpgතිස්ස අත්තනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය පහකට අධික කාලයක් ඊයේ (17) ප්‍රශ්න කර ඇත.පසුගිය ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම අල්ලසක් ගැනීමක් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (17) උදෑසන දහයට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අතර සවස තුන පමණ වනතෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ඇත.

තිස්ස අත්තනායක මහතා මීට පෙර ව්‍යාජ ලිපි ‍ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ද ගනු ලැබූ අතර පසුව පෙබරවාරි මස 11 වැනිදා ඒ මහතා ඇප මත නිදහස් කරනු ලැබිය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ මෙලෙස තමාගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ දේශපාලන පළිගැනීම් උදෙසා බවත්, තමාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ප්‍රශ්න කරනු ලැබුවේ කිසිදු පදනමක් නොමැති කාරණා පිළිබඳ බවත්ය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා තමාට ලබාදුන් අමාත්‍ය ධුරයේ කිසිදු නීති විරෝධී සිදුවීමක් නොමැති බැවින් තමාට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවද අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.