Dinamina
Written by Admin   
Wednesday, 06 May 2015
SC rules Tissa Attanayake’s expulsion is invalid

තිස්ස එජාපයෙන් නෙරපීමේ තීරණය අවලංගු යි

tissa_supremcout.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය නීතියට වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) තීරණය කළේය.එම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනිව සහ විධිමත් නීතිමය පටිපාටියකට අනුව සිදු කර නැතැයි ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් නෙරපූ බවට දන්වමින් නිකුත් කර ඇති ලිපියද බල රහිත කෙළේය.නිසි පරිදි චෝදනා හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමකින් සහ විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එජාප බලධාරීන් ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා තිස්ස අත්තනායක මහතා ගොනු කළ පෙත්සමක විභාගය අවසන් කර තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීරණය කෙළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙහි සෙසු සාමාජිකයන් වන ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ යන මහත්වරුන්ගේ එකඟතාවය සහිතව සකස් කරන ලද නඩු තීන්දුව විනිසුරු මඩුල්ලෙහි සභාපතිනිය වූ රෝහිණී මාරසිංහ මහත්මිය විසින් ප්‍රකාශ කරන ලදී.එක්සත් ජාතික පක්ෂය, එහි නායක රනිල් වික්‍රමසිංහ, එහි මහ ලේකම් කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට සිටියහ.

තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එම තනතුරින් ඉවත් වූ බවද, ව්‍යාජ ලියවිල්ලක් සම්බන්ධ චෝදනාවකට ලක්ව බන්ධනාගාරගතව සිටියදී පක්ෂයෙන් ඉවත් කළ බවට තිස්ස අත්තනායක මහතා විසින් පැමිණිලි කර තිබිණි. විධිමත් චෝදනා පත්‍රයක් දීම හෝ කරුණු දැක්වීම සඳහා තමන්ට අවස්ථාව නොදුන් බවද අත්තනායක මහතා සිය පෙත්සම මගින් පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමේ සමස්ත ක්‍රියාවලියම නීතියට පටහැනිව සිදු කර ඇති බවය.

එහිදී නිසි පරිදි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නැත. එසේම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර ඒ සම්බන්ධ විධිමත් කරුණු විමසීමක් හෝ කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබා දී නැතැයි ද විධිමත් පරීක්ෂණයක් පවත්වා නැතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.‍

එසේම තිස්ස අත්තනායක මහතා සිදු කර ඇති වරදක් සම්බන්ධ චෝදනා හෝ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ කාරණාව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළ බවට පෙන්නුම් කරන කිසිදු සටහනක් හෝ සාක්කියක් නැති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි. මෙම සමස්ත ක්‍රියාදාමයම ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කරමින් සිදු කර ඇති අතර එවැන්නක් අනුමත කිරීමට හෝ ඊට ඉඩ තැබීමක් කළ යුතු නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

යමෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමක් කරන්නේ නම් එය විධිමත් පරිදි නීතියට අනුකූලව සිදු කළ යුතුය. එහිදී ස්වභාවික යුක්ති මූලධර්මය අනුගමනය කළ යුතුය. එසේ නොමැතිව ගෙන ඇති මෙම තීරණය ඒ අනුව නීතියට අනුව වලංගු නොවන බවට ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨාධිකරණය එය තහවුරු කිරීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දු ගණනාවක්ද සිය තීන්දුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානම තිස්ස අත්තනායක මහතාට ලක් නොවන අතර දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව අත්තනායක මහතාට හිමිව තිබේ.

නීතිඥ අතුල ද සිල්වා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, කෞෂල්‍යා මොල්ලිගොඩ සහ රුවන්ත කුරේ නීතිවේදීන් තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ද, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද, ජනාධිපති නීතිඥ ඉක්‍රම් ‍ෙමාහොමඩ් මහතා පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා වෙනුවෙන් ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි සිල්වා මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම් සහ මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් ද පෙනී සිටියහ.

Last Updated ( Wednesday, 06 May 2015 )