Press Relase
Written by Admin   
Wednesday, 25 March 2015

තිස්සගෙ පෙත්සම 26-27 විභාගයට....

court.jpgසිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ එහි බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගොනු කළ පෙත්සම මාර්තු මස 26, සහ 27 දෙදින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීරණය කෙළේය. එම පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දුන්නේය.මෙවැනි පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහි පෙත්සම් විභාග කිරීම වෙනුවෙන් පංච පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අදාළ ප්‍රතිපාදන නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය මෙහිදී ප්‍රකාශ කර සිටියාය.

ඒ අනුව පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවීමට නියම වූ අතර පෙත්සම් විභාගය මාර්තු 27 වැනිදා නිම කිරීමට තීරණය කෙරිණි.

පෙත්සම සම්බන්ධ විරෝධතා මාර්තු මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

ප්‍රතිවිරෝධතා මාර්තු මස 25 වැනිදා ගොනුකරන ලෙස නියම විය. ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එක්සත් ජාතික පක්ෂය, එහි නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් කබීර් හෂීම් යන මහත්වරු, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට ඇත.

තමන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එම තනතුරින් 2014 දෙසැම්බර් 08 දින ඉවත් වූ බවද පෙත්සම්කරු පවසයි.

පසුව දෙසැම්බර් මස 11 වැනිදා සෞඛ්‍ය ඇමැති ලෙස පත්වූ බවද, තමා සහාය දුන් අපේක්ෂකයා මැතිවරණයෙන් පරාද වීම නිසා එම තනතුරු අහෝසි වූ බවද පෙත්සම්කරු සඳහන් කර ඇත. පසුව ව්‍යාජ අත්සන් සහිත ලියවිල්ලක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත ඉකුත් පෙබරවාරි 02 දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් වූ තමන් පෙබරවාරි මස 11 වැනිදා ඇප මත මුදාහල බව ද පෙත්සම්කරු කියයි.

තමා රිමාන්ඩ් භාරයේ සිටියදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තමන්ට අහිමි කිරීමට එහි බලධාරීන් තීරණය කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවස්ථාවක් නොවූ බවද ඔහු සඳහන් කරයි.

නිසිලෙස කරුණු දැක්වීමට අවස්ථාක් නොදී තමන් පක්ෂයෙන් ඉවත් කිරීම නීති විරෝධී සහ අසාධාරණ බව තිස්ස අත්තනායක මහතා පවසයි.

එබැවින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් පෙබරවාරි මස 08 දින නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්ද පෙනී සිටියහ