Press Release
Written by Admin   
Sunday, 14 December 2014

මේ සැරසෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නට නොව චන්ද්‍රිකා කුමාරතුංග අගමැති කරන්නටයි-සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ගම්පොළ පැවැති ජනහමුවට එක්වෙමින්

galle protest 2.jpgමෛත්‍රීපාල සිරිසේන යනු මහා මැට්ටකු යැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළේ යැයි මංගල සමරවීර තමා සමඟ පැවසූ බව සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක් වූ සමරවීර මහතා තමා සමඟ එසේ පැවසුවේ නැතිදැයි ඕනෑ නම් විමසා බලන ලෙසත් අත්තනායක මහතා පැවසීය. සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැති දි. මු. ජයරත්න මහතා සංවිධාන කළ රැලියට ගම්පොළ නගර‍යේ දී ඊයේ (14) පැවැති ජනහමුවට එක්වෙමිනි. තමා සිරිකොතෙන් එළියට බැස්සේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත්‍රණයේ ස්විච් එක ඕෆ් කර බවත් හැකි නම් එම ස්විච් එක යළිත් ක්‍රියාත්මක කර පෙන්වන්නැයි තමා එ.ජා.ප නායකයන්ට අභියෝග කරන බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

එ. ජා. ප නායකයන් අඳුරේ අතපත ගා ස්විච් එක හොයා ගත්තත් එය යළිත් ස්‍ටාර්ට් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් මේ රටේ ජනාධිපති ධූරයට පත් වී අවසන් බවත් ඒ මහතා අවධාරණය කළේය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයම දැන් බකල් වී ඇති බව පැවසූ අත්තනායක මහතා අද රටේ කොතැනකවත් එ. ජා.පයට එක කාර්යාලයක්වත් නොමැති බවත් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය දිනන සටන ආරම්භ කරන්නට පොලිම් බූත් මට්ටමින් නියෝජිතයන් 12,000ක් පත් කර ඒ යටතේ මැතිවරණ මෙහෙයුම් කමිටු 12,000ක් සාදා 420,000ක කොළ බළකායක් තමා නිර්මාණය කිරීමේ කටයුතු තමා ඇරැඹූ බව පැවසූ අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමුළුවේ දී මෙය කළ හැකි බව තමා පෙන්වා දුන් බවත් කීවේය.

එයින් බයට පත් වූ නායකත්වය එම වැඩපිළිවෙළ තමාගෙන් ඉවත් කර වෙනත් දෙදෙනකුට භාර දීමට කටයුතු කළ නමුත් එම යාන්ත්‍රණය යළිත් ක්‍රියාත්මක කිරීමට කිසිවකුටත් නොහැකි බවත් පැවසීය. මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරන්නට හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නම් එය වඩාත් හොඳින් කරන්නට ජනාධිපතිතුමාට හැකි බව කී අත්තනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර උඩින් යාමට අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීය.

මේ සැරසෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නට නොව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති කරන්නට බවත් ජනාධිපති රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන්, ක්‍රෝධයෙන් මේ අය කටයුතු කරන බවත් කී අත්තනායක මහතා තමා ජනාධිපතිතුමාට සහාය දීමට තීරණය කළේ ඒ ව්‍යාපාරය පරාජය කිරීමේ අරමුණ ඇතිව බවත් කීවේය. අද මෛත්‍රී පාලනයක් ගැන කථා කරන මෛත්‍රීපාලගේ මෛත්‍රීපාලනයේ හැටි පොළොන්නරුවේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයන්ගෙන් අසා දැන ගත හැකි බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ සටනේ භයානකම තත්ත්වය මෛත්‍රීපාල මහතා එක එක පක්ෂ සමඟ අත්සන් කරන ගිවිසුම් බව පෙන්වා දුන් අත්තනායක මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ අත්සන් කළ ගිවිසුමේ කොන්දේසි හැකි නම් ජනතාවට ඉදිරිපත් කරන්නැයි තමා අභියෝග කරන බවත් පැවසිය.

මෛත්‍රීපාල ජනාධිපති වී දෙමළ සන්ධානයේ කොන්දේසි ඉටු කළ හොත් ජනාධිපතිතුමා රණවිරුවන් සමඟ අමාරුවෙන් දිනා ගත් නිදහස මේ රටට අහිමි වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂයත් අගමැති දි. මු. ජයරත්න, ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්. බී. දිසානායක, රෙජිනෝල්ඩ් කුරේ, තිස්ස අත්තනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

Last Updated ( Monday, 15 December 2014 )