Press Release
Written by Admin   
Tuesday, 28 October 2014

කලින් අයවැයෙන් දෙනවා කී රට පුරා කර්මාන්ත ශාලා 200, හමුදා භටයන්ගේ දරුවන්ට දෙනවා කී ලක්ෂයේ මුදල, සෑම දරුවෙකුටම දෙනවා කී කිරි වීදුරුව කෝ? මේත් ඒ වගේම බොරු: ඔක්කොම දෙන්නේ ඡන්දෙන් පස්සේ -තිස්ස අය-වැය පතුරු ගසයි

222222222222.jpgරට පුරා මහා පරිමාණ කර්මාන්ත ශාලා 200 ක් හදනවා,ආරක්‍ෂක හමුදා සාමාජික සාමාජිකාවන්ගේ තුන් වැනි දරුවා වෙනුවෙන්රුපියල් ලක්‍ෂයක මුදලක් ලබා දෙනවා,සෑම දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා,ආදී පසුගිය අයවැය යෝජනාවලින් දුන් පොරොන්දු එකක්වත් ඉටු කර නැති ආණ්ඩුව තවත් එවැනි බොරු පොරොන්දු රාශියක් මෙවර අයවැයෙන් දී ඇතැයි එජාප මහා ලේකම් තිස්ස අත්තනායක පවසයි. ඔහු මේ බව පැවසුමේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.පිටරට සිටින ලාංකිකයන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළ ආණ්ඩුව ඒ පුරවැසිභාවය යලි ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බලනවා යැයි අය -වැය කතාවකදී නොගැලපෙන ලෙස කතා කියමින් අය-වැය වනාහී මැතිවරණ ප්‍රකාශනයක මට්ටමට ඇද දැමුවේ යයි ද තිස්ස අත්තනායක චෝදනා කෙළේය.

මැදමූළන බයියා අය වැය පතුරු ගසමින් එහි ව්‍යාජත්වය හෙළි කළ එජාප මහලේකම් වරයා වැඩි දුරටත් මෙසේ කීය.

''අයවැය යෝජනාවලිය මගින් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ජනතාවට මෙවර කියා තිබෙන අතිශය සුන්දර සුරංගනා කතන්දරය සැබෑ වීමට නියමිතව තිබෙන්නේ 2015 මුල් කාර්තුවෙන් පසුවයි. මේ කිසිවක් ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක නොවන අතර සියල්ල ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව කියා සිටිනවා. එමෙන්ම ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කරන කිසිඳු යෝජනාවලියක් ආණ්ඩුව මෙවර අයවැයට ඇතුළත් කර නැහැ. 

2015 අපේක්‍ෂිත ජාතික ආදායම වන රුපියල් කෝටි 1,77,000 ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබේද යන්න විශාල ප්‍රශ්නයක් බව කිව යුතුයි. 2014 අපේක්‍ෂිත ජාතික ආදායම සපුරා ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ නමුත් 2014 ට වඩා 2015 දී ආදායම රුපියල් කෝටි 22500 කින් වැඩි කර ගන්නා බව ආණ්ඩුව කියා සිටිනවා. මේ ආදායම සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුව කිසිවක් පැහැදිලිව සඳහන් කර නැහැ. එසේ නම් ආණ්ඩුව මේ ආදායම සොයා ගැනීම සඳහා 2015 දී භාණ්ඩ සහ සේවා මත තව තවත් බදු ගැසීමට කටයුතු කරනු නියතයි. 

ආණ්ඩුව විදේශ රටවලින් ගිනි පොලියට ගත් ණය වාරික සහ මුදල් ගෙවීම සඳහා ජාතික ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වය හමුවේ අයවැය මගින් ආණ්ඩුව යෝජනා කර තිබෙන මේ සහන ජනතාවට ලබා දෙන්නේ කෙසේද? 

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල මේ වන විට 50% කින් අඩු වී තිබෙන අතර තෙල් මිල ද විශාල වශයෙන් අඩු වී තිබෙනවා. 2015 දී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සිට 60 දක්වා අඩු වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. කිරිපිටි මිල ලෝක වෙළෙඳපොලේ මේ තරම් අඩු වී තිබිය දී ආණ්ඩුව අයවැය යෝජනාවලිය මගින් කිරිපිටි මිල අඩු කර නොමැති අතර ළදරු කිරිපිටි මත පනවා ඇති බදු පමණක් ඉවත් කරන බව කියා සිටියා. 

මේ අතර ඉදිරි අවුරුදු 1 1/2 සඳහා තෙල් මිලදී ගැනීමට අදාළව ආණ්ඩුව පෙට්රෝ චයිනා සිංගපූර් සහ එමිරේට්ස් නැෂනල් ඔයිල් කොම්පැනි යන සමාගම් සමග ඉදිරි ගිවිසුමක් අත්සන් කිරීමට යනවා. මේ ගිවිසුම අනුව මේ මොහොතේ පවතින මිලටම ඉදිරි අවුරුදු 1 1/2 පුරාම මේ සමාගම්වලින් තෙල් මිලදී ගන්නා බවට ආණ්ඩුව ඒ සමාගම් සමග එකඟ වනවා. ඉදිරියේ දී ලෝක වෙළෙඳපොලේ තෙල් මිල විශාල වශයෙන් අඩු වීමට නියමිතව තිබිය දී මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමෙන් අවාසියක් සිදුවනවා විනා රටට – ජනතාවට තිබෙන වාසිය කුමක්ද? තෙල් මිල අඩු වීමේ වාසිය රටේ ජනතාවට නොදී ආණ්ඩුව මේ ගිවිසුම යටතේ ඒ වාසිය කොන්ත්‍රාත්කරුවන්ට, කොමිස් කාරයන්ට සහ තැරැව්කාරයන්ට ලබාදීමයි. සෑම බොරතෙල් බැරලයකින්ම අමෙරිකානු ඩොලර් 20 ක් ආණ්ඩුව මේ අනුව ගසා කෑමට සැලසුම් කර තිබෙනවා. 

ලෝක වෙළෙඳපොලේ දැනට පවතින මිල ගණන් අනුව පෙට්‍රල් ලීටරයකින් තවත් රුපියල් 25 ක් ද, ඩීසල් ලීටරයකින් තවත් රුපියල් 15 ක් ද, භූමිතෙල් ලීටරයකින් තවත් රුපියල් 20 ක් ද අඩු කළ හැකි නමුත් ආණ්ඩුව ඒ සහනය ජනතාවට දෙන්නේ නැහැ. රටට – ජනතාවට විශාල අවාසියක් සිදුවන මේ ගිවිසුමට අත්සන් කිරීම වහාම නතර කරන්නැයි ආණ්ඩුවට අප බල කරනවා. 

රට සංවර්ධනය කිරීම සඳහා මේ අයවැය යෝජනාවලිය මගින් ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. එමෙන්ම පුද්ගලික අංශය දිරිගන්වන කිසිදු යෝජනාවක් නොමැති අතර පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් කිසිදු සහනයක් සලසා නොමැති බව ද කිව යුතුයි.

උෟව පළාත් සභා මැතිවරණයේ දී වතුකරයේ ඡන්දවලින් 50% ක් ආණ්ඩුවෙන් ගැලවුනු නිසා තිබෙන තරහට එම ජනතාව වෙනුවෙන් ද ආණ්ඩුව කිසිදු සහනයක් ලබාදී නැහැ. ආරුමුගන් තොන්ඩමන් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂට සහාය පළ කරන බව කියා සිටියත් වතුකරයේ ජනතාවට ආණ්ඩුව සහනයක් නොදුන්නේ ඇයි? 

2010 දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එංගලන්තයේ ලන්ඩන් නුවර සංචාරය කළ අවස්ථාවේ දී ඔහුට එරෙහිව ශ්‍රී ලාංකික ද්‍රවිඩ කණ්ඩායමක් විරෝධය පළ කිරීමේ තරහවට ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළ ආණ්ඩුව ඒ පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බලන බව අයවැය යෝජනාවලිය මගින් කියා සිටීම විහිලූ සහගතයි. එවා අයවැයකට ආදාල නෑ.

රට විරුවන් වෙනුවෙන් වාහන බලපත් ලබාදෙන බව කියමින් ආණ්ඩුව රට වෙනුවෙන් දහදිය මහන්සිය වගුරුවා විදේශ රටවල වැඩ කරන අපේ ජනතාව විශාල ලෙස රවටා තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිට ගොස් විදේශ රටක මුදල් උපයා ඒ මුදලින් එරටදී මිලදී ගත් වාහනය ඒ පුද්ගලයා නැවත මෙරටට පැමිණෙන විට ගෙන ඒමට අයිතියක් තිබෙනවා. ආණ්ඩුව පසුගිය කාලයේ විවිධ චක්‍ර ලේඛ නිකුත් කරමින් ඒ අයිතියට බාධා කළා. ඒ වාහනය අදාළ පුද්ගලයාට තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අයිතිය වර්තමාන නීතියේත් තිබෙනවා. එසේ තිබිය දී රට විරුවන්ට වාහන බලපත් ලබාදෙන බව ආණ්ඩුව අයවැය මගින් කියා සිටියේ ජනාධිපතිවරණයේදී ඒ ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ කූඨ උපක්‍රමයක් ලෙසයි. 
මේ අයවැය යෝජනාවලිය මගින් සාමාන්‍ය ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන අතර සිදුවන්නේ 2015 දී මීටත් වඩා ජීවන බරක් ජනතාව මත පැටවීමයි. 

ආණ්ඩුව ආදායම් සොයා ගැනීමට යන්නේ භාණ්ඩ සහ සේවා මත බදු ගැසීමෙන් පමණක් බව කවුරුත් තේරුම්ගත යුතුයි. එමෙන්ම 2015 දී රටේ ණය බරතාව තව තවත් වැඩි වන අතර අයවැය හිඟය පියවා ගැනීමට ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ග හේතුවෙන් බැංකු ක්‍ෂ්ත්‍රයේ බරපතළ මූල්‍ය අර්බුද මතුවීමට ඉඩ තිබෙනවා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළේ රට ගොඩනගා ජතාවට සහන සලසන අයවැය යෝජනාවලියක් නොව ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් මැතිවරණ ප්‍රකාශනයක් බව කිව යුතුයි.''

Last Updated ( Tuesday, 28 October 2014 )