Press Release
Written by Admin   
Sunday, 12 October 2014

ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන විශේෂ වැඩ සටහන් රැසක් රට පුරා

මහජන මුදල් කොල්ල කා විදේශ රටවල ගිණුම්වල තැන්පත් කර තිබෙන සියලූ මුදල් එජාප ආණ්ඩුව යටතේ යළිත් මහජනතාවටම ලබාදීමට කටයුතු කරනවා- තිස්ස

111111111111new-tissssssaaa.jpgජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන විශේෂ වැඩ සටහන් රැසක් රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන එක්සත් ජාතික පක්‍ෂය එහි පළමු පියවර වශයෙන් රට පුරා ඡන්ද පොළ 12,000 ක් ආවරණය වන පරිදි පත් කර සිටින ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000 කොළඹහයිඩ් පිටියට කැඳවා විශාල සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණ ව්‍යාපාරය රට පුරා මෙහෙයවීමට අප කටයුතු යොදා තිබෙන්නේ මේ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000 මාර්ගයෙනුයි. කොළඹහයිඩ් පිටියට මේ ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000 කැඳවන්නේ ඒ අය දිරිමත් කිරීම සහ ඒ අයට අනන්‍යතාවයක් ලබාදීම සඳහායි. 



ජනාධිපතිවරණයේදී අපේ මූලික අරමුණ වන්නේ මේ ඡන්ද පොළ සංවිධායකවරුන් මාර්ගයෙන් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඡන්ද පොළ මට්ටමින් සැලසුම් කර ලබා ගැනීමයි. ඒ අනුව ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 65 ක ඉලක්කයකට යන්න අප සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා එක ඡන්දපොළකින් ඡන්ද 500 ත් 550 ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. 

මේ ඡන්ද ලක්‍ෂ 65 ඉලක්කයට ගොස් ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අප එක්සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ සමගිය සහ එක්සත් භාවය තහවුරු වී තිබෙන නිසා පක්‍ෂ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීමට අපට හැකියාව උදාවී තිබෙනවා. 

මේ වැඩ සටහන මගින් විපක්‍ෂයට හිමි ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට අප සැලසුම් කර තිබෙන අතර, විපක්‍ෂයට හිමි ඡන්දවලින් මේ වන විටත් 80% වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. 

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සියලූ පාර්ශ්වයන් එකට ඒකරාශී කර ඒකාබද්ධ සහ පොදු දේශපාලන වේදිකාවක් රටේ ගොඩනැගීමට ද අප තීරණය කර තිබෙනවා. 
ඒකාබද්ධ සහ පොදු වේදිකාවක් සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙන අතර, මේ වනතුරු කිසිදු අවසන් නිගමනයකට අප කවුරුවත් පැමිණ නැහැ. නමුත් ඒකාබද්ධ සහ පොදු දේශපාලන වේදිකාවක් නිර්මාණය කර ගැනීම ස¼දහා අප මේ වන විටත් දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් ඇතුළු සියලූ පාර්ශ්වයන් සමග අදහස් සහ යෝජනා හුවමාරු කර ගනිමින් සිටිනවා. ඒ අනුව මේ මාසය අවසන්වීමට පෙර ඒකාබද්ධ සහ පොදු දේශපාලන වේදිකාවක් සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණීමට හැකි වෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා. 

අප සියලූ දෙනාගේ ප්‍රධානතම සහ මූලිකම අරමුණ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය සහ යහපාලනය තහවුරු කිරීමට අවශ්‍ය ඊළඟ පියවර ගැනීමයි. 
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පසුව මේ පාර්ලිමේන්තුව ඔස්සේම අපේ මේ ඉලක්ක සපුරා ගන්නවා ද නැද්ද නොඑසේ නම් අලූත් ජනවරමක් ලබා ගෙන ඒ ඉලක්ක සපුරනවා ද යන්න පිළිබඳව අප තීරණය කළ යුතුව තිබෙනවා. 

මේ පාර්ලිමේන්තුව ඔස්සේම ඒ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරයේ එකඟතාවය ලබා ගැනීම සඳහා අප ක්‍රියා කළ යුතුයි. ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් ගණනාවක් සමග අප මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන්නේ ඒ නිසයි. මේ මැති ඇමැතිවරුන් සමග අප කරන සාකච්ඡා, අපේ ගමන් බිමන් සහ දුරකථන ඇමතුම් පිළිබඳව රජයේ රහස් ඔත්තු සේවා සෝදිසියෙන් සිටිනවා. රජයේ බුද්ධි අංශය මේ කටයුතු පිළිබඳ කෙතරම් කරුණු සොයා බැලූවත් එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ඕනෑම ජාතික මැතිවරණයක් වෙනුවෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගණනාවක් සමග යම් යම් එකඟතාවයන්ට සහ තීරණවලට පැමිණ සිටිනවා. 

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ද බොදු බලසේනා සංවිධානය ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඇතුළු පාර්ශ්ව ගණනාවක් සිය ස්ථාවරයන් සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. 

මේ සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් පොදු එකඟතාවයකට පැමිණීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය සහ යහපාලනය රටේ යළි ගොඩනැගීම සඳහා සියලූ පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය වනවා. අප මේ කාර්ය භාරය ඉටු කරන්නේ එක පුද්ගලයකු හෝ එක කණ්ඩායමක් වෙනුවෙන් නොව රටත් ජනතාවත් වෙනුවෙනුයි. 

අපේ පරමාර්ථය වන්නේ රටේ බහුතරයකගේ අපේක්‍ෂාවන් ඉටු කළ හැකි නව පාලන ක්‍රමයක් රටේ ඇති කිරීමයි. ඒ නව පාලන ක්‍රමය ඇති කිරීම සඳහා ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පන්නා දැමිය යුතු යැයි ජනතාව මේ වන විට තීරණය කර තිබෙනවා. මේ ආණ්ඩුව රැක ගෙන ආරක්‍ෂා කරමින් ඒ පෙරලිය රටේ ඇති කිරීමට නොහැකි බව ජනතාව තේරුම් ගෙන සිටිනවා. 

එම නිසා අප සියලූ දෙනාටම පොදු අරමුණක් තිබිය යුතු අතර, ඒ ඔස්සේ පොදු එකඟතාවයකට පැමිණ පොදු න්‍යාය පත්‍රයකට අනුව පොදු වේදිකාවක් නිර්මාණය කර ගත යුතුයි. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය අපට පන්නා දැමිය හැක්කේ අප සියලූ දෙනාම එකට එක්ව මේ මූලික කාරණා සපුරා ගත හොත් පමණයි. 

ජනාධිපතිවරණය සාධාරණ, අපක්‍ෂපාති සහ විනිවිද භාවයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලූ පියවර වහාම ගන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවී එක්සත් ජාතික පක්‍ෂය විශේෂ ඉල්ලීමක් කළා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විගසම විදේශීය ස්වාධීන මැතිවරණ නිරීක්‍ෂකයින් රටට කැඳවා සීරුවෙන් තබන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අප ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා දින 45 ට නොඅඩු කාලයක් ලබා දිය යුතු යැයි ද දැනුම් දුන්නා. මේ සියලූ කරුණු කාරණාවලට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එකඟ වූ අතර, ඒ සියලූ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අප සමග කියා සිටියා. 

මැතිවරණයක් පවත්වන්නේ නම් ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් අපි දෙවැනි කාරණය ලෙස ප්‍රකාශ කළා. ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ජනමාධ්‍යවලටත් ඉදිරි ජනාධිපතිවරණය කඩිමුඩියේ පැවැත්වීමට ඉතා උනන්දුවක් තිබෙනවා. එම හදිසිය නිසා ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු අවම කාලය භාවිත කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවත් අපට වාර්තා වනවා. 

1982 ජනාධිපතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සඳහා දින 51 ක් ද 1988 දී දින 59 ක් ද 1994 දී දින 84 ක් ද 1999 දී දින 54 ක් ද 2005 දී දින 58 ක් ද සහ 2010 දී දින 64 ක් ද ලබා දී තිබෙනවා. ජනාධිපතිවරණයක් පවත් වන්නේ නම් ඒ සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිය යුතු බව අපි මැතිවරණ කොමසාරිස්වරයාට කරුණු පැහැදිලි කළේ ඊට පෙර ජනාධිපතිවරණවලදී පූර්වා දර්ශයන් පිළිබඳ සැලකිලිමත්වීමෙන් පසුවයි. 

ආණ්ඩුව ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පසුගිය දා මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කළා. කොළඹබාන්ස් පෙදෙසේ එම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණු අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරුන් හය දෙනෙක් සහ මහ බැංකු අධිපතිවරයාත් සහභාගී වුණා. දේශපාලන කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට මෙරට ඉතිහාසයේ කවදාවත් අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සහභාගී වූයේ නැහැ. අමාත්‍යංශ ලේකම්වරයා ජනාධිපතිවරයා විසින් පත් කළත් ඔහු සංස්ථා සභාපති කෙනෙකුට සමාන වන්නේ නැහැ. අමාත්‍යංශයක ප්‍රධාන විධායක නිලධාරියා සහ ගිණුම් නිලධාරියා වන්නේ අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයායි. දේශපාලන පක්‍ෂවල වැඩ කටයුතුවලට සම්බන්ධවීමට හෝ මැතිවරණ ව්‍යාපාරවල යෙදීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ. 

පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාත් දේශපාලන පක්‍ෂයක කාර්යාලයක් විවෘත කරන අවස්ථාවට සහභාගී වූ අතර, අප ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළා. ඒ අවස්ථාවේදීත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජ්‍ය නිලධාරීන් එලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවිය යුතු බවට ද දැනුම් දුන්නා. රාජ්‍ය සේවයේ සිටිමින් දේශපාලන කටයුතු කිරීමට නොහැකි නිලධාරීන් දේශපාලන වැඩ කටයුතුවලට යොදා නොගත යුතු බවට උපදෙස් දෙන ලෙසත් අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා.

හම්බන්තොට රන්මිණිතැන්න සිනමා ගම්මානය භාවිත කරමින් එක්සත් ජාතික පක්‍ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මඩ ගැසීම සඳහා ආණ්ඩුව චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට අපට තොරතුරු හෙළි වී තිබෙනවා. දේශපාලන වේදිකාවේ තමන්ට රට ගොඩනැගීමට හැකි ද යන පිළිබඳ කාරණය සංවාදයකට ලක් නොකොට විරුද්ධ දේශපාලන පක්‍ෂවලට මඩ ගැසීමට ආණ්ඩුව චිත්‍රපට සකස් කිරීමට රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරනවා. 

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු අතර තුර එම මඩ චිත්‍රපට පෙන්වීම සඳහා වරාය අධිකාරියෙන් මේ වන විටත් වාහන 17 ක් පමණ සූදානම් කොට තිබෙනවා. වරාය අධිකාරියට අයත් එම වාහනවල අංක ඉදිරියේදී ලබා දීමට අපි ක්‍රියා කරනවා. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් එලෙස පවත් වන්නේ කෙසේ දැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. 
 
ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සිටම ආණ්ඩුව ඒ වෙනුවෙන් රාජ්‍ය දේපොළ, මුදල් සහ සම්පත් යොදා ගනිමින් සිටිනවා. එම කටයුතුවලට සම්බන්ධ නොවන ලෙස අපි සියලූම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවට රාජ්‍ය නිලධාරීන් එලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුව හොත් අවසානයේදී ඊට වන්දි ගෙවීමට සිදුවන්නේ එම නිලධාරීන්ටයි. 
රාජ්‍ය පරිපාලන සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ අනුව රන්මිණිතැන්න සිනමා ගම්මානයේ නිර්මාණය කෙරෙන එක්සත් ජාතික පක්‍ෂයට දේශපාලන මඩ ගසන චිත්‍රපටය සහ ඒ චිත්‍රපටය රට පුරා ප්‍රදර්ශනය කිරීම සඳහා වරාය අධිකාරියේ වාහන යොදා ගැනීම ඇතුළු තොරතුරු රැසක් මේ වන විටත් අප ඒකාරාශී කර ගෙන සිටිනවා. ආණ්ඩුවේ වැරැදි නියෝගවලට සහ මහජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි වන විදිහට රාජ්‍ය දේපොළ, මුදල් සහ සම්පත් භාවිත කිරීමට යොමු නොවන ලෙස අප සියලූම රාජ්‍ය සේවකයින්ට මතක් කරනවා. එවැනි තොරතුරු තිබේ නම් අප වෙත දැනුම් දෙන ලෙස ද මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. 

ජාතික දේපොළ වංචා කිරීමට විරුද්ධව අනාගතයේදී දැඩි පියවර ගැනීමටත් එක්සත් ජාතික පක්‍ෂය බලාපොරොත්තු වනවා. ආණ්ඩුව මහජන මුදල් කොල්ල කා විදේශ රටවල ගිණුම්වල තැන්පත් කර තිබෙන සියලූ මුදල් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ යළිත් මහජනතාවටම ලබාදීමට කටයුතු කරනවා. 

ජනාධිපතිවරණයේදී ජනතාවට නිදහසේ තීන්දුවක් ගැනීමට ඉඩ තිබිය යුතු අතර, හමුදාව සහ පොලිසිය සිටින්නේ දේශපාලකයින්ගේ වැරැදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවෙයි. රට අයිති දේශපාලකයින්ට නොව ජනතාවට බව මේ අය දැනගත යුතුයි. 

තවදුරටත් කල් නොමරා හැකිනම් ජනාධිපතිවරණය වහාම පවත් වන්නැයි ආණ්ඩුවට අප අභියෝග කරනවා. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාව ජනාධිපති පුටුවෙන් බැස්සවීමට එක්සත් ජාතික පක්‍ෂය සියලූ බලවේග එකට ඒකරාශී කර ඊට දේශපාලන නායකත්වය දෙනවා. 

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා දුන් පිළිතුරු මෙසේය. 

ප්‍රශ්නය : ජනාධිපතිවරණයට තවත් අවුරුදු 2 ක් තිබියදී හදිසියේම ජනාධිපතිවරණයක් පැවැත්වීමට යන්නේ කිනම් හේතුවක් නිසා දැයි Vජුව ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කිරීම ගැන ඔබේ ස්ථාවරය කුමක්ද? 

පිළිතුර : ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රශ්න කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට යන්න සූදානම් වන්නේ ආණ්ඩුවේ එකඟතාවයකින් නොව සිය පවුලේ එකඟතාවයක් මත බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස ප්‍රශ්න කරමින් ජනාධිපතිවරයාට Vජුව ලිපියක් යැවීමට තරම් මට්ටමකට පත්ව සිටිනවා කියන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් ඇති වී තිබෙන බවයි. 

ප්‍රශ්නය : ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂය පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා ද නැතිනම් එක්සත් ජාතික පක්‍ෂයෙන්ම අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා ද? 

පිළිතුර : එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධ තීරණය අප ගන්නේ ජනාධිපතිවරණය කැඳවීමෙන් නිල නිවේදනය නිකුත් කළාට පසුවයි. සියලූ පාර්ශ්වයන් එකම වේදිකාවකට ගෙන මේ ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පෙරලා දැමීම අපේ අරමුණයි. 

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට කිසිදු අඩුපාඩුවක් හෝ නුසුදුසුකමක් ඇත්තේ නැහැ. එතුමාට වඩා එම ජනාධිපති ධූර අපේක්‍ෂකත්වයට කිසිදු සුදුස්සෙකු රටේ ඇත්තේ නැහැ. මේ රටේ දෙවරක් අගමැති ධූරයට පත්වූ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා විශාල අත්දැකීම් සම්භාරයක් තිබෙන නායකයකු වනවා. පොදු අරමුණක් කරා මේ සටන මෙහෙයවීමට එතුමාට හැකි බවට බහුතරයේ විශ්වාසය තිබෙනවා. 

ප්‍රශ්නය : ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගණනාවක් සමග ගෙන යන සාකච්ඡාවල ප්‍රගතිය කෙබඳුද? 

පිළිතුර : ඇත්තටම සාර්ථකයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගණනාවක් සමග මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂය මූලික එකඟතාවයකට පැමිණ සිටිනවා. ජනාධිපතිවරණය ප්‍රකාශ කළ විගස ඒ කණ්ඩායම අවශ්‍ය පියවර ගැනීමට මේ වන විටත් එකඟවී සිටිනවා. 
 
Last Updated ( Sunday, 12 October 2014 )