Press Release
Written by Admin   
Monday, 06 October 2014

ආණ්ඩුවෙ ඇමැතිවරු 40කට වඩා එජාපයට එන්න ඉන්නවා-එක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් තිස්ස අත්තනායකගෙන් ඉගියක්

11111111111111.jpgඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළා කියා එක්සත් ජාතික පක්ෂය කියනවා. ඇත්තටම මේක ජයග්‍රහණයක්ද ?ඇත්තටම ඔව්. මේක පැහැදිලිවම අපේ ජයග්‍රහණයක්. පළාත් සභාව පිහිටුවන්න අපට නොහැකි වුණත් අපේ ඡන්ද ප්‍රමාණය 19කින් වැඩි කර ගනිමින් ආණ්ඩුව 19කින් පහළට ගෙනහිල්ලා තියෙනවා. ඒවගේම ඌව පළාතේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 06කින් ඉහළ දමා ගන්න අපට හැකියාව ලැබුණා. තනි  පක්ෂයක් ලෙස මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ගැන තමයි අපි සතුටු වෙන්නේ.

ඒ වුණාට එක්සත් ජාතික පක්ෂයට ඌව පළාත් සභාවේ බලය පිහිටුවන්න ලැබුණේ නැහැනේ ?
මේක ආණ්ඩුවක් පෙරළන මැතිවරණයක් නොවන බව හැමෝම දන්න කාරණයක්. එවැනි තත්ත්වයක් යටතේ වුණත් ආණ්ඩුව පස්සට යවන්න ඌව ජනතාව මේ මැතිවරණයේදී කටයුතු කරලා තියෙනවා. මේ මැතිවරණයේදීත් සුපුරුදු පරිදි රාජ්‍ය බලය යොදා ගත්ත මැතිවරණයක් බවට පත් වුණා. ආණ්ඩුව මැතිවරණය දිනන්න විදුලි බිල, පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල අඩු කෙරුවා. ඒ වගේම නියං සහනාධාර කියලා මුදල් දුන්නා. නමුත් ජනතාව මේ සියල්ල ආණ්ඩුව කරන විජ්ජාවන් කියා හඳුනා ගත්ත නිසා තමයි මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණේ. 

පරාජය වෙච්ච පක්ෂයක් දිනුවා දිනුවා කියා කෑගහන ලෝකයේ එකම පක්ෂය ඔබ පක්ෂය කියලායි ආණ්ඩුව හඳුන්වන්නේ.
2009 මැතිවරණයේදී ආණ්ඩුවට මොණරාගල දිස්ත්‍රික්කයෙන් 80කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. එය අද වන විට සියයට පනස් ගණනකට අඩු වෙලා තියෙනවා. බදුල්‍ලේ පැවැති 70ක ප්‍රතිශතය 51 දක්වා අඩු වෙලා. බදුල්ල ප්‍රතිඵලය ගත්තහම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සරත් ෆොන්සේකාගේ පක්ෂය ආදී පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගත්ත ඡන්ද ප්‍රතිඵලය එකතු කෙරුවහම ආණ්ඩුවට වඩා විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය බැලුවහම පේන දෙයක් තමයි බදුල්ලෙන් ආණ්ඩුව පරාදයි කියන එක. එක්සත් ජාතික පක්ෂය ලෙස අප සතුටු වෙන්නේ බදුල්ලෙන් අපේ ඡන්ද ප්‍රමාණය ලක්ෂයකින් වැඩි වෙද්දී මොණරාගලින් ඡන්ද පනස් දාහක් වැඩි කරගන්න පුළුවන් වුණා. එක්ලක්ෂ පනස් දහසක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් නොවෙයිද?

මේ ජයග්‍රහණය හරීන් ප්‍රනාන්දු නිසා ලැබුණ එකක්. ඔහු කළ කැප කිරීම නිසා ජනතාව ඒ ගැන හිතුවා වෙන්න බැරිද?
ඔව් ඒකත් එක හේතුවක්. ඒ වගේම තවත් කාරණා කිහිපයකුත් බලපෑවා. අපි ඉදිරිපත් කළ අපේක්ෂකයා මේ ඡන්දයට විශාල වශයෙන් බලපෑවා. අනෙක් කාරණය එක්සත් ජාතික පක්ෂයේ සමගිය අපට මේ මැතිවරණය අවස්ථාවේ පෙන්වන්නට හැකියාව ලැබුණා. ජනතාව වගේම පාක්ෂිකයාත් බලා‍පොරොත්තු වුණේ රනිල්, සජිත්, කරු ආදී පක්ෂයේ සියලු දෙනාම එක වේදිකාවක ඉන්න ඕනෑ කියන එකයි. ගමට ඒ පණිවුඩය අපට ගෙනියගන්න බැරි වුණත් අපි ඒක ප්‍රදර්ශනයෙන් පෙන්නුවා. මැතිවරණයට සති දෙකකට කලින් තමයි පක්ෂයේ සියලු දෙනාටම එකම වේදිකාවකදී ජනතාව ඉදිරියේ පෙනී සිටින්න පුළුවන් වුණේ. මේ තත්ත්වය මාසයකට කලින් සිද්ධ වුණා නම් මම හිතන්නේ ඌව පළාත් සභාව පිහිටුවන්නේ අපි.....

මොණරාගල ඔබ පක්ෂයට හිතපු තරම් බලයක් ලබා ගන්න පුළුවන් වුණේ නැහැ නේද?
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා දිගටම කිව්වේ අපි ආසන පහක් ලබා ගැනීම වෙනුවෙන් සැලසුම් කරනා බවයි. ඉලක්කය ජයග්‍රහණය වුණත් අපි අවමයකුත් තබාගෙන තමයි මේ මැතිවරණ සටනට බැස්සේ. මොණරාගලින් 2009 මැතිවරණයේදී ලැබුණේ මන්ත්‍රී ආසන දෙකක් පමණයි. ඒක පහ දක්වා වැඩි කරගැනීම තමයි අපේ පළමු උපාය මාර්ගය වුණේ. මොණරාගල අපේ ඡන්ද වැඩිවීමේ ප්‍රතිශතය 105ක්. මෙවැනි පළාත් සභා මැතිවරණයකදී එය හොඳ ප්‍රවණතාවක් ලෙසයි අපි දකින්නේ.

මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක බැලුවහම ඉදිරි ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයට ජය ගන්න පුළුවන් වෙයි කියා හිතනවද?
පැහැදිලිවම අපට ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන්. මම එහෙම කියන්නේ අපේ ඡන්ද ප්‍රතිශතය ඉහළයාමත්, ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය පහළයාමත් සංසන්දනය කරලා. පළාත් සභාවකට තනිවම තරග කරලා මෙවැනි ඡන්ද ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් නම් ‍පොදු වේදිකාවක් හදලා ජනාධිපතිවරණයකට පැමිණියහම අපට පහසුවෙන් ජයගන්න පුළුවන්. විරුද්ධ පක්ෂයේ ඡන්දවලින් 85 ක පමණ ප්‍රමාණයක බර දරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගත්තහම ජයග්‍රහණයට අවශ්‍ය ඉතිරි ඡන්ද ප්‍රමාණය එයින් ලැබෙනවා. මේ ඡන්ද ප්‍රතිඵලය ගත්තහම ආණ්ඩුවට ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන්ද කියන ගැටලුව එනවා. මේ ප්‍රතිඵලයෙන් පේන්නේ රට තුළ ආණ්ඩුවට එරෙහිව ජනමතයක් හැදෙන බවයි. වංචාව දූෂණය වගේම ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව මේ අය හදලා නැති නිසා තමයි මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණේ. 

එතකොට කවුද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ?
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කියන එක හැමෝම කතා කරන කාරණයක්. පක්ෂයේ මැතිවරණ ඉතිහාසයේදී විශේෂ අවස්ථා දෙකකදී නායකයා ජනාධිපති අපේක්ෂකයා වුණේ නැහැ. ජනාධිපති ඩී.බි. විජේතුංග මහත්තයා පක්ෂයේ නායකයා වුණත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අකමැති වූ නිසා ගාමිණී දිසානායක මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. දෙදහස් දහයේදීත් එය වෙනස් වුණා. යුද්ධයෙන් පස්සේ පැවැති ජනාධිපතිවරණයේදී අපි එකඟතාවකට ආවා ‍පොදුවේ හැමෝම පිළිගන්න අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව දුන්නා.  

එතකොට ‍පොදු අපේක්ෂකයාට මොකද වෙන්නේ.
විපක්ෂයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය ලෙස ‍පොදු අපේක්ෂකයා තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය කියන අදහසේ තමයි අපි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සඳහා තියෙන නුසුදුසුකම කුමක්ද එතුමාට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් වෙන කාටද තියෙන්නේ. ඒ වගේම ඔහු දෙවරක් අගමැති හැටියට ඉඳලා තියෙනවා. ඔහු හොරකම වංචාව දූෂණය නැති දේශපාලනඥයෙක්. ඔහුට තරම් සුදුසුකම් තියෙන වෙන කෙනෙක් ඉන්නවද? විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකතු විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය වටේය කියන අදහසේ තමයි මම ඉන්නේ. 

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ කැමති වෙයිද රනිල් වික්‍රමසිංහ මහත්තයාව ‍පොදු අපේක්ෂකයා හැටියට භාර ගන්න ?
එහෙම නම් විපක්ෂය අපේක්ෂා කරන්නේ කුමක්ද විපක්ෂයේ 85ක් ඡන්ද තියෙන එක්සත් ජාතික  පක්ෂය අතහැරලා තමන්ගේ මතය අනුව තරග කරලා දිනන්න කාට හරි පුළුවන්ද එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපි කියන්නේ අපි ‍පොදු වේදිකාවක් නිර්මාණය කර ගනිමු. ‍පොදු න්‍යාය පත්‍රයක් අපි හදාගනිමු. එවැනි න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරන්න එකඟව එක්සත් ජාතික පක්ෂය මුල් කර ගත් ‍පොදු වේදිකාවක් නිර්මාණය කරගනිමු කියන එක තමයි අපේ යෝජනාව.

ජනාධිපතිවරණයට සෝභිත හාමුදුරුවෝ ‍පොදු අපේක්ෂකයෙක්ඉදිරිපත් කළොත් එක්සත් ජාතික පක්ෂය ඔහුට සහය දෙනවාද?
ඒක තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂයක් ලෙස මුහුණ දෙන ආකාරය ගැන අපි අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. ඉතින් අපට ඕන තරම් ඉඩකඩතියෙනවා අනෙක් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්න. ඒ නිසා අපි සෝභිත හාමුදුරුවෝ සමග, දෙමළ ජාතික සන්ධානය සමග, මුස්ලිම් කොංග්‍රසය සමග, තොන්ඩමන් මහතා සමග, සරත් ෆොන්සේකා මහතා සමග, ජනතා විමුක්ති පෙරමුණ සමඟ ආදී ලෙස දේශපාලන පක්ෂ හා සංවිධාන සමග අපි සාකච්ඡා කරන්න ඕනේ. එසේ කතා කරලා තමයි අපට අවසන් තීරණයකට එන්න තියෙන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ තාමත් ජනප්‍රියයි. විපක්ෂය එකතු වුණා කියලා ඔහු පරාජය කිරීම ලෙහෙසි වෙයි කියා හිතනවාද?
ජනාධිපතිවරයා ඔතරම් ජනප්‍රිය චරිතයක් නම් ඌව පළාතෙන් 19ක ඡන්ද ප්‍රතිශතයක් අඩු වෙන්නේ කොහොමද? ඌවේ පරාජය එක එක පුද්ගලයන් පිට පටවන්න බැහැ. ඌවේ මැතිවරණය පැවැත්වීමෙන්ම බලා‍පොරොත්තු වුණේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය උරගා බැලීමයි. ජනාධිපතිවරයා මේ මැතිවරණයේදී පළාතේ හන්දියක් හන්දියක් ගානේ පයින් ගියා.

ජනාධිපතිවරණය කැඳවූ පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ආණ්ඩුවට එකතු වෙනවා කියන්නේ ඇත්තද?
මට නම් ආරංචි වෙන්නේ ඕක ‍නෙවෙයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු හතළිහකට වැඩි ගණනක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න එනවා කියන එකයි අපට නම් දැනගන්න තියෙන්නේ. ඒ අයගේ අභිප්‍රාය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරවීමයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය ගොඩනගන සන්ධානයට සහය පළ කිරීමට තමයි මේ අය ප්‍රතිඥා දීලා තියෙන්නේ. ආණ්ඩුවේ ඉන්න දේශපාලන පක්ෂ කිහිපයක්    දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනම කටයුතු කරනවා කියලා. ඒ නිසා මට බොහෝම පැහැදිලිව කියන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් ආණ්ඩුවට එකතුවෙන්නේ නැහැ කියලා.

Last Updated ( Monday, 06 October 2014 )