Press Release
Written by Admin   
Friday, 19 September 2014

ඉන්ධන මත බදු පටවා අසීමිත ආදායමක්‌ උපයන
ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි
- තිස්‌ස අත්තනායක

11111111111111.jpgඉන්ධන මත අධික ලෙස බදු පටවා අසීමිත ආදායමක්‌ උපයන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.සිරිකොතදී ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසූ අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.එජාපය නිසා අද සමස්‌ත රටේ ජනතාවට යම් සහනයක්‌ දෙන්න ඕන කියලා ආණ්‌ඩුවට හිතන්න වෙලා තිබෙන්නේ.ඒත් එකක්‌ කිව යුතුයි ජනාධිපතිවරයාගේ පාණ්‌ඩුකම්භල සයිලාසනය රත්වෙන්න පටන් ගත්තේ මැතිවරණය නිසයි. එහෙම නැතිනම් මෙය ජනාධිපතිවරයාට දැනුණේ නැහැ.දැන් බලන්න විශේෂයෙන්ම 2013 සිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් හය වතාවක්‌ පහළ වැටිලා තිබෙනවා. හැබැයි එහෙම කොපමණ වතාවක්‌ අඩුවුණත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් අඩුවුණේ නැහැ.

අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ මේ විදිහට ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අඩුවීම මත පස්‌ වතාවක්‌ ඉන්ධන මිල අඩු කරලා ජනතාවට ඒ සහනය ලබා දුන්නා. ඒත් ශ්‍රී ලංකාවේ එහෙම වුණේ නැහැ.

මීට හේතුව ඉන්ධන මිල ගණන් සමස්‌ත ලෝකයේම අඩුවෙන කොට වැඩියෙන්ම බදු පදනම් කර ගනිමින් ඉන්ධන වැඩි මිලට විකිණුවේ ශ්‍රී ලංකාව පමණයි. නිෂ්පාදන වියදම් සහ විකිණුම් මිල ගණන් පිළිබඳව බැලුවහම අපට මේ ගැන සිතා ගත හැකියි.

මහ බැංකු වාර්තා අනුව පෙට්‍රල් සහ ඩීසල් මත බදු අය කිරීමෙන් ආණ්‌ඩුව රුපියල් කෝටි ගණනක ලාභයක්‌ ලබාගෙන තිබෙනවා. අපි විශේෂයෙන් කිව යුතුයි 2007 දී තෙල් බැරලයක්‌ තිබුණේ ලෝක වෙළෙඳ පොළේ ඩොලර් 145 ට. එම මිල ගණන් යටතේ තිබෙනකොට ආණ්‌ඩුව සෙස්‌ බද්දක්‌ දැම්මා. යුද්ධයට මුදල් අවශ්‍යයි කියලා. 2008 දී ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අසීමිත ලෙස අඩුවුණා. එවිට ආණ්‌ඩුව නිහඬව සිටියා. ඒ ලාභය ජනතාවට දුන්නෙත් නැහැ. ඊට පසුව 2010 සිට 2013 දක්‌වා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල එක දිගටම පහළ ගියා. නමුත් ඒ කිසිම මොහොතකවත් ආණ්‌ඩුව ඒ සහනය දුන්නේ නැහැ.

ඒ හැම මොහොතකම ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව කියා සිටියේ සංස්‌ථාව ලබන අධික පාඩුව නිසා මිල ගණන් අඩුකරන්න බෑ කියලයි. නමුත් තෙල් සංස්‌ථාව මෙහෙයුම් ලාභය විතරක්‌ රුපියල් මිලියන සිය ගණනක්‌ ලබා තිබෙනවා. ඒත් ඉන්ධන මිල ගණන් අඩුකරන්න බැරි වුණේ හෙජින් ගිවිසුම නිසා විඳින්න සිදුවන පාඩුව නිසයි.

අනෙක්‌ කාරණය තමයි තෙල් සංස්‌ථාවට ගත්තු අත්තනෝමතික තීන්දු විශේෂයෙන් හදිසි මිලදී ගැනීම්, බාල තෙල් මිලදී ගැනීම. මේ නිසා සිදුවුණු පාඩුව නිසා සංස්‌ථාව දිගින් දිගටම පාඩු ලැබුවා. ඒ විතරක්‌ නොවෙයි මේ අද වන විටත් තෙල් සංස්‌ථාවේ මහා නාස්‌තියක්‌, දූෂණයක්‌ සිදුවෙනවා.

උදාහරණයක්‌ ලෙස කිව්වොත් මේ වන විටත් කොළොන්නාව තෙල් පිරිපහදුවේ එක්‌ තෙල් නළයක්‌ තිබෙනවා. ඒකෙන් දේශපාලන හිතවතුන් සහ එහි නිලධාරීන් සීමාවකින් තොරව ඉන්ධන ලබා ගන්නවා.

ඒ විතරක්‌ නොවෙයි තෙල් සංස්‌ථාවේ නිලධාරීන් සංස්‌ථාවේ දේපළ පාවිච්චි කරන ආකාරය බලන්න. සංස්‌ථාවේ ප්‍රධානියකු හැම මාස හයකටම වරක්‌ අලුතින් වාහන ලබා ගන්නවාලු. ඒ වාහන ලක්‍ෂ 150-200 ක්‌ විතර වටින ඒවා. ඒ එක්‌ නිලධාරියකුට පමණයි. ඒ වගේ තව නිලධාරීන් සිටිනවා.

විශේෂයෙන්ම කිව යුතුයි මෙරට දුප්පත්, සාමාන්‍ය ජනතාව භාවිතා කරනු ලබන ලක්‍ෂ 20 කට අධික ත්‍රිරෝද රථ, යතුරුපැදි සඳහා අවශ්‍ය පෙට්‍රල් ලීටරයක්‌ සඳහා ආණ්‌ඩුව ලබා ගන්නා බද්ද විතරක්‌ රුපියල් 48 යි. ආණ්‌ඩුව තෙල් විකිණීමෙන් ලබන ආදායමට අමතරව බදු අය කිරීම මගිනුත් විශාල වශයෙන් තවත් අමතර ආදායමක්‌ ලබා ගන්නවා. විශේෂයෙන් ආණ්‌ඩුව අහිංසක ජනතාවගෙන් තමයි මේ විදිහට විශාල ලෙස බදු අයකර ගන්නේ.

පෙට්‍රල් ලීටරයකින් ආණ්‌ඩුවට ලබා ගන්නා බද්ද පමණක්‌ රුපියල් 48 යි. ඩීසල් ලීටරයකින් බද්ද පමණක්‌ රුපියල් 30 ක්‌ ගන්නවා. එජාපය කියන්නේ මේ බද්ද අඩු කරන්න කියලා. සංස්‌ථාවට පාඩු ලබන්න කියලා අපි කියන්නේ නෑ. සංස්‌ථාවට ලාභ ලබා ගන්න කොට ආණ්‌ඩුව ඇයි හැම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 48 කුත්, හැම ඩීසල් ලීටරයකින්ම රුපියල් 30 කුත් බද්දක්‌ අයකර ගන්නේ.

ඒ නිසා ආණ්‌ඩුව සිදුකරන දූෂණයට ජනතාවයි බදු ගෙවන්නේ. භූමිතෙල් කියන්නේ අතුරු නිෂ්පාදනයක්‌. එබැවින් භූමිතෙල් මිලත් විශාල වශයෙන් අඩු කළ හැකියි. මොකද භූමිතෙල් සඳහා නිෂ්පාදන වියදමක්‌ යන්නේ නැහැ. වරායෙන් බදු අය කරන්නෙත් නැහැ.

නමුත් දැන් ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ පිරිපහදු කරනු ලබන ඉන්ධන සිංගප්පූරුවෙන්. ඒ නිසා සිංගප්පූරුවේ මිල ගණන්වලට තමයි දැන් ශ්‍රී ලංකවේ අපිට ඉන්ධන මිලදී ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඉන්ධන මිල තීරණය කරන්නේ සිංගප්පූරු වෙළෙඳ පොළයි.

ඉතින් ආණ්‌ඩුව මෙහෙම කරන්නේ ඇයි? තෙල් සංස්‌ථාව ලංකා බැංකුවට, මහජන බැංකුවට මේ වෙනකොට රුපියල් මිලියන 422 ක්‌ ණය වෙලා. පොලියත් ගෙවන්න තිබෙනවා. ඒ නිසා අහිංසක ජනතාවගේ පිට ඒ ණය බර පටවනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ගණනාවක්‌ තෙල් සංස්‌ථාවට ණයයි. ඒ ණයත් පටවන්නේ ජනතාවටයි.

ඒ වගේම සංස්‌ථාවේ පවතින දූෂණය සහ නාස්‌තිය කියන මේ බරත් ජනතාව පිට පැටවෙනවා. ඒ නිසා එයත් නවත්වා ගතහොත් හෝ අවම කර ගත්තොත් තෙල් මිල තවත් 50% ක්‌ අඩු කර ලබාදෙන්න පුළුවන්.

විශේෂයෙන්ම සංස්‌ථාවේ මිලදී ගැනීම්වලත් විශාල දූෂණයක්‌ තිබෙනවා. ගිය සතියේ ඇමැති මණ්‌ඩලය තීරණයක්‌ අරගෙන තිබෙනවා. ඉදිරි මාස හයට තෙල් ගෙන ඒමට ගිවිසුමක්‌ අත්සන් කරන්න. සම්ප්‍රදාය තමයි සංස්‌ථාවේ මිලදී ගැනීම් කරන්නේ ටෙන්ඩර් කැඳවීමෙන්. ටෙන්ඩර්කරුවන් 58 දෙනකු සංස්‌ථාවට සිටිනවා. ප්‍රමිතිය සහ අඩු මිල ගණන් බලලයි ටෙන්ඩර් සාමාන්‍යයෙන් ලබා දෙන්නේ.

දැන් බලන්න එජාප 2001-2004 රජය කාලේ මිල සූත්‍රයක්‌ අනුගමනය කළ නිසා මිල නියම වුණේ ඒ සූත්‍රයට අනුවයි. ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතා ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් මෙහෙම කියනවා. "රුපියල් මිලියන 9890 ක ලාභයක්‌ තෙල් සංස්‌ථාව ඒ කාලේ (එජාප කාලේ) ලබා ගත්තා කියලා. පසුව මිල සූත්‍රය ඉවත් කළ පසු 2006 වන විට තෙල් සංස්‌ථාව රුපියල් මිලියන 1600 කට අධික මුදලක්‌ පාඩු ලබනවා.

දැන් ඉන්දියන් ඔයිල් සමාගමත් මේ රටේ තෙල් විකුණනවා. හැබැයි සංස්‌ථාව පාඩු ලබනකොට ඉන්දියන් සමාගම ලාභ ලබනවා.

ඒ වගේම විදුලි බිලත් 25% කින් අඩු කළා. මේකත් අර සිංහල අවුරුද්දට සේල් දානවා වගේ අවුරුද්දට කලින් මිල වැඩි කරලා පසුව 10% කින් අඩු කරලා කියනවා සේල් දැම්මා කියලා. ආණ්‌ඩුවත් 300% කින් පසුගිය කාලයේ විදුලි ගාස්‌තුව වැඩි කරලා දැන් කියනවා අඩු කළා කියලා. සෑම විදුලි බිලකම ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්‌ තිබෙනවා. මෙය ආණ්‌ඩුව ඉවත් කළහොත් මීට වඩා විදුලිය මිල අඩුකරන්න පිළිවන්.

නොරොච්චෝලේ බලාගාරය හදලා අවසන් වූ පසු විදුලි බිල අඩුකරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. නොරොච්චෝලේ බලාගාරය දැන් කළමනාකාරීත්වය පවරන මුවාවෙන් සම්පූර්ණයෙන්ම චීනයට පවරන්න වෙලා. ඒකටයි චීන ජනාධිපති ආවේ. අපේ රාජ්‍යය ආයතන දැන් චීනයට අත්පත් වෙමින් තිබෙනවා. මෙමගින් මුළු ජාතියම අනතුරේ වැටිලා.
Last Updated ( Friday, 19 September 2014 )