Press Release
Written by Admin   
Friday, 05 September 2014

ඌවේ ජනතා තීන්දුව රටේ අනාගතය වෙනුවෙන් ලබා දෙන තීන්දුවක් !

​මේ රටේ දියුණුව වෙනුවෙන් විශාලම සමාජ මෙහෙවරක් සිදු කළේ එක්සත් ජාතික පක්ෂයයි - එජාප මහ ‍ලේකම් පා. මන්ත්‍රී තිස්ස අත්තනායක

11111111111111_3.jpgවසර ගණනාවක් තිස්සේ ජනතාව රැවටූ සන්ධාන ආණ්ඩුව පළවා හරිමින් නව දේශපාලන පෙරළියක් රට තුළ ඇති කිරීම සඳහා ඌවේ ජනතාව මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ පිටකෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද කීය. 


එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සරය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශීය සභා පරිශ්‍රයේ දී ලබන 06 වැනි දා පස්වරු 2.00 පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. 1946 සැප්තැම්බර් 06 වැනි දා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය මේ වන විට නායකයින් 7 දෙනෙකු යටතේ ඉදිරියට යමින් සිටිනවා. ජාතිවාදී හෝ ආගම්වාදී පක්ෂයක් නොවන සැබෑ දේශප්‍රේමී පක්ෂයක් ලෙස 68 වැනි සංවත්සරය සැමරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙනවා. 
මේ රටේ දියුණුව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විශාල ආර්ථික වැඩ පිළිවෙළක් කෘෂිකාර්මික, කර්මාන්ත හා වෙළෙඳ ක්‍ෂේත්‍රවලින් ඉටු කළා. එමෙන්ම විශාලම සමාජ මෙහෙවරක් සිදු කළේ ද එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසයේ රජ දරුවන්ගෙන් පසුව වැව් අමුණු සිය ගණනක් ඉදි කළ දේශපාලන පක්ෂය ද අපේ පක්ෂයයි. ඌව පළාත් සභා මැතිවරණයත් ඉලක්ක කොට ගනිමින් ප්‍රසිද්ධ රැස්වීමක් ලෙස පවත්වනු ලබන අභිමානවත් 68 වැනි එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගි වන ලෙස අපි සියලු දෙනාටම විවෘතව ආරාධනා කරනවා. 

ඌව මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු අවසාන සති දෙකකට ළඟා වෙමින් තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ රැස්වීම් අඛණ්ඩව පවත්වනවා. සැප්තැම්බර් 10 වැනි දා සිට 17 වැනි දා දක්වා අපේ පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරක රැළි පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු නායකයින් සහභාගි වන එම ප්‍රධාන ජන හමු මාලාව සැප්තැම්බර් 10 වැනි දා වියලුව නගරයෙන් ආරම්භ වනවා. එමෙන්ම 11 වැනි දා ඌවපරණගම ද, 13 වැනි දා වැලිමඩ සහ හපුත‍ලේ ද, 14 වැනි දා හාලිඇල දී ද, 15 වැනි දා බිබිල, මහියංගනය සහ වැල්ලවායේ ද, 16 වැනි දා මොණරාගල සහ බණ්ඩාරවෙලදී ද පවත්වනු ලබන අතර ප්‍රචාරක ජන හමු මාලාවේ අවසන් ජන රැළිය 17 වැනි දා බදුල්‍ලේ දී පවත්වනවා. 

මැතිවරණ ව්‍යාපාරයට රාජ්‍ය බලය යොදා ගනිමින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් දිගින් දිගටම ආණ්ඩුව විසින් සිදු කරනවා. ආර්ථික සංගණනයකට මුවාවෙමින් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලට අනුයුක්ත කොට සිටින ක්‍ෂේත්‍ර නිලධාරීන්, උපාධි අභ්‍යාසලාභීන් ඇතුළු නිලධාරීන් දහස් ගණනක් මොණරාගලටත්, බදුල්ලටත් යැවීමට ආණ්ඩුව කටයුතු කොට තිබෙනවා. එම නිලධාරීන් යැවීම සිදු කරන්නේ නිල කටයුත්තක් ලෙස බැවින් එය ඉතාමත් බරපතළ තත්ත්වයක් බව අපි අවධාරණය කරනවා. සැප්තැම්බර් 04, 05 සහ 06 දිනවලදී එම සංගණනය සිදු කරන බව දැනටමත් ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන අතර එවැනි සංගණනයක් සිදු කරන්නේ නම් මැතිවරණයෙන් පසුව සිදු කරන ලෙස අපි ප්‍රකාශ කරනවා. 

ඌව පළාත් සභා මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. ඌවේ ජනතාව ලබා දෙන තීන්දුව මේ රටේ අනාගතය වෙනුවෙන් ලබා දෙන තීන්දුවක් නිසා වසර කිහිපයක් තිස්සේ ඌවේ ජනතාව රැවටූ ආණ්ඩුව පළවා හැරීම සඳහා මේ මැතිවරණයේ දී ජනතාව කටයුතු කළ යුතුයි. 

ඌවේ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් සන්ධානයේ පාලනය යටතේ කිසිවක් සිදු නොවූ බව ඉතාමත් පැහැදිලියි. ඌවේ සමස්ථ දුප්පත්කම වසර කිහිපයක් තුළ සීඝ්‍ර ලෙස වැඩි වී තිබෙන අතර දිවයිනේ වැඩිම දුප්පතකම සහිත දිස්ත්‍රික්කය බවට මොණරාගල දිස්ත්‍රික්කය පත් වෙලා. මොණරාගල දිස්ත්‍රික්කයේ 20 ක් වූ දුප්පත්කම පිළිබඳව මීට පෙර සොයා නොබැලූ ආණ්ඩුව ජනතාව රැවටීම සදහා මැතිවරණය අතරතුර දේශපාලන කටයුතු වෙනුවෙන් සංගණනයක් සිදු කිරීමට ක්‍රියා කරනවා.  එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ජලය ලබා දීම සඳහා මුහුදු ජලය ලබා ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ යළිත් වරක් ජනතාව රැවටීමටයි. එය හඳෙන් හාල් ගෙනත් දෙනවා යැයි කියූ කතාවට සමාන බව කිව යුතුයි. එම ඡන්ද ‍පොරොන්දුවලට නොරැවටී තමන්ගේ තීන්දුව නිවැරදි ලෙස ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්වරයාටත් පැමිණිලි කළා.  මැතිවරණ ක්‍රමය පිළිබඳ ද බොහෝ විවේචන එල්ල වන අතර සමානුපාතික ක්‍රමය නිසා විශාල මුදලක් ද වැය වෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව විශ්වාස කරනවා. සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික ක්‍රමය සහ කේවල ක්‍රමය එක් කළ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. එමෙන්ම ඡන්ද කඩින්කඩ පැවැත්වීම මගින් මහජන මුදල් ඉතා විශාල ලෙස නාස්ති වන අතර වැඩ කිරීමට තිබෙන කාලය ද අඩු වනවා. අනාගතයේ දී පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ එක් දිනයකදී පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව කිව යුතුයි. 

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී සම්මත කළ පනතට අනුව මැතිවරණය පැවැත්විය යුතු වුවත් ආණ්ඩුව හදිසියේම කිසිදු දේශපාලන පක්ෂයකට නොදන්වා හදිසි පනතක් ලෙස සංශෝධනයක් ඉදිරිපත් කළා. පළාත් පාලන මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව ඇති කර ගත් එකඟතාව එලෙසම ක්‍රියාත්මක කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

සමානුපාතික ක්‍රමයට ඡන්ද ගණන් කිරීම සඳහා විශාල කාලයක් වැය වන නිසා එම ක්‍රමය පිළිබඳව විශ්වාසය බිඳවැටී තිබෙනවා. මේ නිසා ප්‍රතිඵල ලබාදීමේ දී ඇති වන ගැටලු සහ ඊට වැය වන මුදල් සහ ශ්‍රමය අඩු කර ගැනීම සඳහා ඡන්ද ක්‍රමයට ඉලෙක්ටේ‍රානික ඡන්ද ක්‍රමය හඳුන්වා දිය යුතුයි. මේ වන විට අපට වඩා සාක්ෂරතාවය අඩු ඉන්දියාව ද එම ක්‍රමය අනුගමනය කරනවා. ඡන්ද ගණන් කිරීම ද, ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයේදීම සිදු කිරීම සඳහා ද ක්‍රමයක් ඇති කරන ලෙස අපි යෝජනා කරනවා. 

එක්සත් ජාතික පක්ෂය හැර ගිය සහ විනය හේතූන් මත හෝ කුමන කාරණයක් මත හෝ නෙරපන ලද සියලු දෙනාට එකට එකතු වී එක්සත් ජාතික පක්ෂය දිනවීමේ ව්‍යාපාරයකට එකතු වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ඉල්ලීමක් කළා. එම ඉල්ලීම සම්බන්ධව ක්‍රියා කිරීමට අපි අභියාචන කමිටුවක් පත් කළා. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතීඥ අශේන්ද්‍ර සිරිවර්ධන, නීතීඥ නිශේධ ගමගේ, සිරිනාල් ද මෙල් සහ ජෝයි නානායක්කාර යන මහත්වරු කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයට යළිත් සම්බන්ධවීමට කැමැත්තෙන් සිටින අය එම කමිටුව වෙත තම අභියාචනා ඉදිරිපත් කිරීමට පුළුවන්. එම කමිටුව ඉන් පසුව ලබා දෙන නිර්දේශ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ අයට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නියමිතයි.

 

Last Updated ( Friday, 05 September 2014 )