Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
INTERVIEW: Lakbima PDF Print E-mail
Written by Admin   
Thursday, 16 October 2014
පක්ෂයේ ආරවුල් හදන්න එපා ජනපතිවරණය අපි දිනනවා
-
එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම්තිස්ස අත්තනායක

thissaaaaaaaaaaaa.jpgහරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂයට එහි බලය ලබා ගැනීමේ දැඩි බලා‍පොරොත්තුවෙන්. නමුත් එය  එසේ වුණේ නෑ. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?පසුගිය පළාත් සභා මැතිවරණයට හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළේ දැඩි බලා‍පොරොත්තුවකින්. ජයග්‍රහණය කිරීම තමයි මූලිකම අපේක්ෂාව වුණේ. ඒ වගේම හොඳ තරගයක් දුන්නා. අපි සතුටු වෙනවා හරීන් ප්‍රනාන්දුගේ මෙම උත්සාහයෙන් අපේක්ෂිත ඉලක්කයට යන්න බැරි වුණත්, අපි ජයග්‍රහණය ආසන්නයට ඇවිත් රටට ලොකු පණිවුඩයක් දී තිබෙනවා.ඌවේ මැතිවරණයත් සමග මම කාරණා දෙකක් දකිනවා. එකක් තමයි හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් වී තරගයක් දීම. අනෙක් කාරණය තමයි සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී මට්ටමට පැමිණ පක්ෂයේ එකමුතු බව ප්‍රදර්ශනය කිරීම. මෙම සුබවාදී කාරණා දෙකම මෙම

මැතිවරණයේදී ඉෂ්ට වී තිබෙනවා. ඒ වගේම සමස්තයක් ලෙස ජනතාවට මෙම මැතිවරණයෙන් ඔප්පු වුණා ආණ්ඩුවේ පසුබැස්ම. එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යනවා කියන පණිවුඩය. ඒ පණිවුඩය වැදගත්.

ඔබ කියන්නේ ඌව මැතිවරණ ප්‍රතිඵලයත් සමග ආණ්ඩුව බයවෙලා කියලාද?
පැහැදිලිවම ඔව්. ආණ්ඩුව දැන් කලබල වෙලා ඉන්නේ. වැඩි දෙයක් ඕනෑ නෑ. ඌව පළාත් සභාවේ ඇමැති මණ්ඩලය තවම පත් කර නෑ. ඔවුන්ට සැකයක් තියෙනවා පළාත්  සභාව රැස් වූ විට සභාපති තනතුර තේරීමේදී ගැටුමක් ඇතිවේවි කියලා. ඒ විතරක් ‍නෙවෙයි, අභ්‍යන්තර තත්ත්වය දෙස බලන්න ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා, ඔවුන් පරාජයට පත්වන බව පැහැදිළියි කියලා.

එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභා මැතිවරණයට මුළු ශක්තියම යෙදෙව්වත් ජයගත හැකි වුණේ ආසන තුනක් පමණයි.
මේක පළාත් සභා මැතිවරණයක්.ජාතික මැතිවරණයක් ‍නෙවෙයි. ආණ්ඩුව පෙරළන, ජනාධිපති මාරු කරන මැතිවරණයක් ‍නෙවෙයි. එහෙමනම් ඡන්ද දායකයින්ගේ ඉදිරිපත් වීම මීට වඩා ඉහළ මට්ටමක තිබෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ ආණ්ඩුවේ මුළු බලයම යොදවලයි.  ජනාධිපතිවරයා ඌව මැතිවරණය කළේ එහි පදිංචි වෙලා. ජනාධිපතිවරයා මැතිවරණ රැස්වීම්වලට සහභාගි වුණේ ජාතික උත්සවවලට සහභාගි වන මුවාවෙන්. පාසල් විවෘත කිරීම්, විද්‍යාගාර විවෘත කිරීම් පාලම්, පාරවල් විවෘත කිරීම් පැවැත්වුණා. ජනාධිපතිවරයා සිය බලතල යොදවා ගෙන රාජ්‍ය බලය යොදවලයි මැතිවරණය කළේ. ඒ වගේ නියං ආධාර මුවාවෙන් ජනතාවට මුදල් බෙදුවා. ඡන්ද දවසේ උදෙත් නියං සහනාධාර මුවාවෙන් සල්ලි බෙදුවා. මේ සියල්ල හමුවේ තමයි මේ ප්‍රතිඵලය ලැබුවේ. එහෙම කරලත් 2009 ප්‍රතිඵල දෙස බලන විට ආණ්ඩුව දැවැන්ත පසුබෑමකට ලක්වෙලා. සියයට 19කින්, ඒ කියන්නේ ඡන්ද එක්ලක්ෂ පනස් දහසකින් අඩු වෙලා. එජාපය සියයට 19 කින්, ඒ කියන්නේ ඡන්ද එක්ලක්ෂ පනස් දහසකින් ඡන්ද වැඩිකර ගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩු පක්ෂයත් ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණේ ඉදිරි ජාතික මැතිවරණයක ප්‍රතිඵල මේ මැතිවරණයෙන් මැන ගත හැකි යැයි බලා‍පොරොත්තුවෙන්. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත ජයග්‍රහණය කළා. මේ තුළින් හැඟවෙන්නේ රටේ බහුතර ජනතාව තවමත් ඉන්නේ ආණ්ඩුව සමගයි කියන එක නේද?
පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ගත්තොත් ජනතාව තාමත් ඉන්නේ ආණ්ඩුව සමගයි කියලා තර්ක කරන්න පුළුවන්. නමුත්, ආණ්ඩුව දැන් ටික ටික බැහැගෙන බැහැගෙන ගිහිල්ලයි තියෙන්නේ.  පළාත් සභා හෝ පළාත් පාලන ඡන්දයකින් රටේ ජාතික ප්‍රතිඵල පිළිබඳ  තීන්දු ගන්න බෑ. ජනතාවට මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ එපා වෙලයි තියෙන්නේ.

ඊළඟ ජනාධිපතිවරණයේදී  ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියන එක ස්ථිර ද?
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කරමින් තියෙන්නේ. ජාතික නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡා සඳහා නායකත්වය දෙනවා. අපේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ පක්ෂයේ නායකයා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා දැන් ජනමතයක් ගොඩනැගිලා ඉවරයි. නමුත් අපිට අවශ්‍ය තනියම ජනාධිපතිවරණයට මුහුණ දීම ‍නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට යූ.එන්.පී නොවන සියලු ඡන්දදායකයින් එක ගොඩකට ගැනීමයි අපේ අරමුණ. විපක්ෂයේ ප්‍රධානම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. විපක්ෂයේ ඡන්ද සියයට 80ක් පමණ වැටෙන්නේ එජාපයට යි. නමුත් අනෙකුත් දේශපාලන පක්ෂ එක්ව ලබා ගන්නා ජයග්‍රහණය ඉතා වැදගත්. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය වගේ පක්ෂ සමග සාකච්ඡා කරමින් පවතිනවා. බොහෝ දේවල් නිල නොවන මට්ටමින්.
දැන් හුඟ දෙනෙක් කියන්නේ සියලු භේද අමතක කර මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ‍පොදු වේදිකාවක් හදමු කියලයි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නම්, අපි ‍පොදු අරමුණකට යා යුතුයි. මේ අරමුණ තමයි,  විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. 
17 වෙනි සංශෝධනය බලාත්මක කළ යුතුයි. 
ඒ නිසා ජනාධිපති අපේක්ෂයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි රට පාලනය කිරීමට තෝරන මහ මැතිවරණයේදී ඕනෑ නම් වෙන් වෙමු. තම පක්ෂවල ප්‍රතිපත්ති වෙනුවෙන්. එතෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වෙමු.

සෝභිත හාමුදුරුවෝ සමගත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂත් සමග සාකච්ඡා කරන්නේ විපක්ෂයේ ‍පොදු අපේකෂකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ කියන තැන ඉඳලාද?
ඔහු හැර කැපී පෙනෙන නායකයෙක් තව ඉන්නවාද? රනිල් වික්‍රමසිංහ මහතා දෙවරක් මේ රටේ අගමැති ධුරය දැරුවා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා අතින් ලංකාවේ ඉහළම තැන ඉන්න පුද්ගලයා. දේශපාලන පරිණතභාවය අතිනුත් එතුමා ඉදිරියෙන්. ඒ වගේම ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂයේ නායකයා. ලකුණ පිළිබඳ ප්‍රශ්නයක් නම්, අපි ඒවා සාකච්ඡා කර විසඳා ගමු. අපේ මූලික පරමාර්ථය කරා යන ගමනට  පුද්ගලයින් පාට හෝ ලකුණු ගැන අපි ප්‍රශ්න ඇති කර ගත යුතු නෑ.

සෝභිත හිමියන් ඇතුළු විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කළොත් එජාපය ගන්නා තීරණය කුමක් ද?
අපි පැහැදිලිවම කියා තිබෙනවා එජාපය තමයි ප්‍රධානම දේශපාලන පක්ෂය. ඒ නිසා අපි මුළු ශක්තියම යෙදවීමට නම් ඒ අපේක්ෂකයා අපේ කෙනෙක් විය යුතුයි කියලා. 1988 ජනාධිපතිවරණයේදීත් ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණා රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්ධව.ඒ අවස්ථාවේ සිරිමාවෝ මැතිනිය තමයි ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වුණත් ඇය ආවේ ශ්‍රීලනිපයෙන් වත් “අත” ලකුණ යටතේවත් ‍නෙවෙයි. ‍පොදු අපේක්ෂිකාව යන ‍ලේබලය යටතේයි ඇය ආවේ.අපි 2005 දිත් 2009 දිත් මේ ආකාරයෙන්ම කළා. ඉතිහාසයෙදි අපිත් එවැනි දේ කළා.
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. උන්වහන්සේ කියා තිබුණා එජාපයේ සහයෝගය නොමැතිව විපක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් නොකළ යුතුයි කියලා. එසේ කළොත් මහින්ද රාජපක්ෂට හා මේ ආණ්ඩුවට වාසියක් කියලා.මේ තුළින් මම කියන්නේ නෑ ඒ හිමියන්ගේ සම්පූර්ණ එකඟතාව ලැබි තිිබෙනවා කියලා. උන්වහන්සේත් අපිට අවශ්‍යයි. ඒ සංවිධානයත් අපිට අවශ්‍යයි. ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය. සරත් ෆොන්සේකා මහතා, මනෝ ගනේෂන්, වික්‍රමබාහු මහතාගේ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. මේ සියලු දෙනාගේම එකඟත්වයට පැමිණිය හැකි තැන තමයි, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. අපි ඒක කරමු.

සෝභිත හිමියන් කියන තවත් දෙයක් තමයි,එක්සත් ජාතික පක්ෂයටවත් ජනතා විමුක්ති පෙරමුණටවත් ජනාධිපතිවරණයේදී තනිව ජයග්‍රහණය කළ නොහැකි බව
ඇත්තටම ඒ පිළිබඳව අපි උන්වහන්සේ සමග තර්ක කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීම එජාපයට තනිව පුළුවන් කියා අපි කටමැත දොඩවන්න යන්නේ නෑ. අපි හිතනවා අපිට තනිවම ඒක කරන්න පුළුවන් වුණත්, අනෙක් අයගේ සහයෝගය ලැබුණොත් මේ සටන පහසු වෙනවා. උදාහරණයක් ලෙස උතුරේ ද්‍රවිඩ ජාතික ඡන්ද, නැගෙනහිර මුස්ලිම් ඡන්ද, වතුකරයේ ඡන්ද දායකයන්ගේ එකඟතාව, සුළු ජාතික පිරිස් සහ බාහිරව සිටින සිවිල් ජනතාවගේ ඡන්දත් අපිට වැදගත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ හැමෝම එකඟ කර ගත් ගමනක් යන්න.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක වුණොත් එජාපයේ පිරිසක් ස්වාධීනව කටයුතු කරන බවට වාර්තා පළ වුණා.
එක්සත් ජාතික පක්ෂයේ වගකීම් දරන ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන්න හැකියාව හා අවස්ථාව තිබෙන කිසිවෙක් මෙහෙම ප්‍රකාශ කරන්නේ නෑ. සමහර වෙලාවට පක්ෂයේ ‍ලේබලය පාවිච්චි කරන සමහර අය මෙහෙම කියනවා වෙන්න පුළුවන්. ජනතාවට ඕනේ වෙනසක්. ඒ නිසා පුද්ගලික මතිමතාන්තර යොදා ගෙන අපි අතර ආරවුල් ඇති නොකර එජාපයේ ගොඩනැගුණු සාමූහිකත්වය ඉදිරියට ගෙන යන්න සහයෝගය දෙන්නැයි මම ඉල්ලා සිටිනවා.

2001 බලයට පත් වූ එජාප ආණ්ඩුව රටේ ජනතාවට කිසිම දෙයක් කළේ නෑ. ජනතාව ඒ බව දන්නවා. මේ තත්ත්වය මත ජනතාව එජාපය නැවත විශ්වාස කරාවිද?
2001 දී අපිට ලැබුණේ, රටේ පාලනයෙන් භාගයයි. ජනාධිපති එක පක්ෂයක හිටියේ. අපිට කිසි දෙයක් කිරීමට අවස්ථාව ලැබුණේ නෑ. අනික වසර හයකට දුන් ජන වරම වසර දෙකහමාරකින් විසුරුවා හැරියා. විධායක ජනාධිපති ලෙස තමා කළේ බරපතළ වරදක් කියා මේ මෑතකදී චන්ද්‍රිකා මහත්මියම ප්‍රකාශ කර තිබුණා. අපි ආණ්ඩුව භාර ගන්න කොට උතුරේ ගිනිගත් යුද්ධය දැඩි බාධාවක් වී තිබුණා. අපි සාමකාමීව එය විසඳා ගැනීමට උත්සාහ කළා. අනික අපි බලයට එන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය ඉදිරියේ මහත් බිඳවැටීමක තිබුණේ. වරායට නැවක් එන්න, ගුවන්තොටුපළට යානයක් ඒමට අධිභාර අය කරන තත්ත්වයට පත්ව තිබුණා. ආර්ථිකය සෘණ තත්ත්වයට වැටී තිබුණා. අවාසනාවකට වගේ අපිට දෙන්න කිසිම රැකියාවක් ඉතිරි වී තිබුණේ නෑ. නමුත් අපි බඩු මිල අඩු කළා. උද්ධමනය තනි ඉලක්කමකට ගෙනාවා. අපිට සිදුවූ ලොකුම අවාසිය තමයි, නියමිත කාලයම ආණ්ඩු බලය ඔවුන්ට ලබා දීමට කටයුතු නොකිරීම. එසේ නොවුණා නම් මීට වඩා ලොකු වෙනසක් කිරීමට ඉඩ තිබුණා.

එල්.ටී.ටී.ඊය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමත් ඇතැම් මන්ත්‍රීවරු දෙමළ ඩයස්‍පෝරාව හා කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධතා පවත්වන බවට ආණ්ඩුවේ මාධ්‍ය එජාපයට දැඩි ලෙස චෝදනා කරනවා. මේ තත්ත්වය මත  එජාප ආණ්ඩුවක් ආවොත් එල්.ටී.ටී.ඊ.ය නැවත හිස ඔසවාවි යැයි ජනතාව තුළ බියක් තිබෙනවා.
ඇත්තටම ඇන් එල්.ටී.ටී.ඊ.යක් නැහැනේ. ආණ්ඩුව කියන්නේ, කොටි උවදුර මුළුමනින්ම උපුටා දැමුවා කියලා. අපි අහන්නේ කොටි සංවිධානයේ නායකයෝ අද කාගේ හුරතල්ලු වෙලා ද? ඉන්නේ. ප්‍රභාකරන් ඝාතනය වුණාට පස්සේ කොටි සංවිධානයේ නායකයා ලෙස හිටියේ, කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. අද කේ.පී. ආණ්ඩුවේ ආරක්ෂාව මැද සුඛෝපභෝගීව ජීවත්වන ආණ්ඩුවේ හුරතලෙක්. කොටි සංවිධානයේ මුළු බූදලයම තියෙන්නේ කේ.පී ළඟ. මේවා සේරම ආරක්ෂා කරන්නේ අපි ‍නෙවෙයි. ආණ්ඩුව. ඒ වගේම කොටි නායකයින් වුණ කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලා අද කොහෙද ඉන්නේ? ආණ්ඩුව කරපු වැරදි වහගන්න අපිට කොටි ‍ලේබල් අලවලානම් බේරෙන්න පුළුවන් වෙන්නේ නෑ. එජාපය කිසිම හේතුවක් නිසා වත්, කොටින්ගේ අතකොළුවක් වෙලා හිටියේ නෑ. නමුත් අපිට ඕනෑ වුණා මේ රටට සාමය ගේන්න. මිනිස් ජීවිත අහිමිවන එක වළක්වා ගැනීමට අපි සාම සාකච්ඡා කරන්න උත්සාහ කළා.
ආණ්ඩුව සාමය ගෙනාවා තමයි. නමුත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නෑ. පාරවල් කාපට් කළාට ජන ජීවිතය තවම ගොඩ නැගිලා නෑ. ඔවුන්ට දේශපාලන ප්‍රශ්න තිබෙනවා. සමාජ ප්‍රශ්න තිබෙනවා. ඒවාට විසඳුම් ලබා දිය යුතුයි. රට බෙදන එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනගන ප්‍රතිපත්තියක එක්සත් ජාතික පක්ෂය නෑ කියලා මම පැහැදිලිවම කියනවා.

මහින්ද රාජපක්ෂ ආකර්ෂණීය දේශපාලන නායකයෙක්. ජනතාව ඔහුට ආදරෙයි. ඔබ එය පිළිගන්නවාද?
මහින්ද රාජපක්ෂ ආකර්ෂණීය නායකයෙක් සහ ජනතාව ආදරය කරන නායකයෙක් කියලා දැන් පිළිගන්න පුළුවන්ද? ඌව මැතිවරණ ප්‍රතිඵලය දෙස බලන්න. මහින්ද රාජපක්ෂ පළාත් සභා මැතිවරණය කළේ, ජනාධිපතිවරණයක් වගෙයි. ඔහු පාරේ බැහැලා පුංචි රැස්වීම්වලට පවා සහභාගි වුණා. හරීන් ප්‍රනාන්දු ඌවට තරග කරන විට ඒ සටන පෙනුණේ හරියට මහින්ද රාජපක්ෂ හා හරීන් ප්‍රනාන්දු අතර පවතින සටනක් වගෙයි. ඔහුට කලින් තිබුණ, ආකර්ෂණය, ප්‍රසාදය දැන් අඩු වී තිබෙනවා.

Last Updated ( Thursday, 16 October 2014 )
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons