Skip to content
Site Tools
Narrow screen resolution Wide screen resolution Auto adjust screen size Increase font size Decrease font size Default font size
You are here: Home
LATEST INTERVIEW: DIVAINA PDF Print E-mail
Written by Admin   
Monday, 29 September 2014

ඌව ඡන්ද ප්‍රතිඵලය එජාපයේ 
ඉදිරි ගමනට ශක්‌තියක්‌ කර ගන්නවා

5.jpgරටේ වත්මන් තත්ත්වය සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එම පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය(- ඌව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය පදනම් කරගෙන පුළුල් වෙනසකට මුල පුරන බවට එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කර තිබුණා. ඒ වෙනස කරා යැමට ප්‍රතිඵලය ප්‍රමාණවත් වෙයිද? පිළිතුර(- අපි අපේක්‍ෂා කරන වෙනසට ආරම්භයක්‌ තැබීමට ඌවේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රමාණවත් වන බව දැන් පැහැදිලියි. ඒ ගැන සැකයක්‌ නැහැ. ඌව පළාත් සභාව තුළින් මෙතරම් ප්‍රගතියක්‌ ළඟාකර ගැනීමට හැකි වූයේ අපි එකමුතු වී ක්‍රියා කළ නිසයි.

ඡන්ද ව්‍යාපාරය ආරම්භයේ සිට අවසන් වන තෙක්‌ ආණ්‌ඩුව රාජ්‍ය සම්පත් යොදා ගනිමින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළා. නමුත් ඒ සියලු අභියෝග පරාජය කර අද අපට ඉදිරියට පැමිණීමට හැකි වී තිබෙනවා. ඉතිහාසයේ වෙනත් කිසිදු පළාත් සභා මැතිවරණයකදී දක්‌නට නොලැබුණ ආකාරයේ ජනතා පිබිදීමක්‌ මොනරාගල හා බදුල්ල යන දිස්‌ත්‍රික්‌කවල මෙවර දකින්නට ලැබුණා.

ප්‍රශ්නය(- ඒ පිබිදීමට හේතුව කුමක්‌ද?

පිළිතුර(- ආණ්‌ඩුව එපාවීමත් හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉදිරිපත්වීමත්, එක්‌සත් ජාතික පක්‍ෂය දියත් කළ වැඩපිළිවෙළ හා පක්‍ෂ අභ්‍යන්තරයේ ගොඩනැඟුණ සමගිය ඊට සෘජු ලෙසම බලපෑ බව කිව යුතුයි.

ප්‍රශ්නය(- ඌවේ ඡන්ද ප්‍රතිඵලය පදනම් කරගෙන පක්‍ෂය අභ්‍යන්තරයේ සිදුකරන වෙනස්‌කම් මොනවද?

පිළිතුර(- එක්‌සත් ජාතික පක්‍ෂය ජාතික මැතිවරණයට මුහුණ දීම සඳහා වන ස්‌ථිර වැඩපිළිවෙළක්‌ සකස්‌කර ගත යුතුයි. එහි මූලික ක්‍රමෝපායන් සාකච්ඡා කිරීම සඳහා මෙම 23 වැනිදා එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වෙනවා. එමෙන්ම එහිදී පක්‍ෂයේ පුරප්පාඩු ගණනාවක්‌ සම්පූර්ණ කිරීමට තිබෙනවා. ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.

ප්‍රශ්නය(- මොනවද ඒ තනතුරු

පිළිතුර(- අපේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති, භාණ්‌ඩාගාරික, ජාතික සේවක සංගමයේ සභාපති ධුරය සහ ප්‍රධාන තනතුරු පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරුවලට පුද්ගලයන් පත්කර ගැනීම සම්බන්ධව පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවසන් නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම මීළඟ ජාතික මැතිවරණය ඉලක්‌ක කරගෙන සංවිධායකවරු පත් කිරීම හා ඌවේ ඡන්ද ප්‍රතිඵලය පදනම් කරගෙන පක්‍ෂයේ ඉදිරි සැලසුම් සකස්‌ කිරීම සම්බන්ධවද 23 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සාකච්ඡා කෙරෙනවා.

ප්‍රශ්නය(- නියෝජ්‍ය නායක තනතුර නිසා යළිත් ඔබේ පක්‍ෂය තුළ අර්බුදයක්‌ නිර්මාණය වී තිබෙනවා නේද?

පිළිතුර(- එහෙම එකක්‌ නැහැ. ඇතැම් මාධ්‍ය පක්‍ෂයේ අර්බුදයක්‌ තිබෙන බව පෙන්වන්න හදනවා. පක්‍ෂයේ සියලු දෙනා එකමුතුව මේ වන විට වැඩ කටයුතු කරගෙන යනවා. එය ඌව පළාත් සභා මැතිවරණයේදී කටයුතු කළ ආකාරය දෙස බැලීමේදී සනාථ වෙනවා.

ප්‍රශ්නය(- නමුත් ඌවේ පැවැති එජාප සම්මේලනයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා ලෙස පත්කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ අවස්‌ථාවේ විඡේදාස රාජපක්‍ෂ, රවි කරුණානායක, මංගල සමරවීර වැනි අය ඊට විරෝධය පළ කළා නේද?

පිළිතුර(- එහෙම විරෝධය පළ කිරීමක්‌ වුණේ නැහැ. විඡේදාස රාජපක්‍ෂ නැගිට ගිය බවටත් මංගල සමරවීර විදේශගත වූ බවටත් මාධ්‍ය මගින් විවිධ කතා ගෙන ගිය නමුත් ඒවායේ සත්‍යතාවක්‌ නැහැ. ඔවුන් සියලු දෙනා පසුගිය දිනවල ඌව මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නියෑළෙමින් සමගිය පෙන්නුම් කළා.

ප්‍රශ්නය(- "සජිත්ට නියෝජ්‍ය නායක ධුරය ලබා දුන්නොත් මම තීන්දුවක්‌ ගන්නවා" යෑයි රවි කරුණානායක මන්ත්‍රීවරයා සෘජුව ප්‍රකාශ කර තිබුණා. එහෙම නම් තනතුරුවලට අර්බුදයක්‌ නැතැයි ඔබ කියන්නේ කොහොමද?

පිළිතුර(- ඕන කෙනකුට ඕන දෙයක්‌ ප්‍රකාශ කළ හැකියි. නමුත් අපි හැමෝම බහුතරයේ මතයට ඉඩදිය යුතුයි. අද රනිල් එළවන්න කියලවත් සජිත් එලවන්න කියලවත් කවුරුත් කියන්නේ නැහැ. හැමෝම කියන්නේ රනිල්, සජිත් එකට යා යුතුයි කියායි. මේ අදහස මම දිගුකාලයක සිට දුටුවා. පක්‍ෂයේ ගැටුම් ඇති වූ සෑම අවස්‌ථාවකම ඒවා සමතයකට පත්කරමින් සමගිය ගොඩනඟන්න මා කැපවී ක්‍රියා කළා. ඒ ගමනේදී ඇතැම් අවස්‌ථාවල මටත් චෝදනා එල්ල වුණා. මගේ අරමුණ වුණේ සජිත් - රනිල් එකට සිටින වැඩපිළිවෙළකට යැමටයි. ඉන් අද වන විට ඒ උත්සාහය සාර්ථක වී තිබෙනවා. මේ ගැන බොහෝ අය අද මට ප්‍රශංසා කරනවා.

ප්‍රශ්නය(- ඔව්. රනිල්, සජිත් අතර මේ එකමුතුව සඳහා පදනම් වූ කොන්දේසි මොනවද? පිළිතුර(- කිසිම කොන්දේසියක්‌ නැහැ. ඇතැම් අය මේ සඳහා විවිධ කොන්දේසි තිබුණ බව කියනවා. මාධ්‍ය ඔස්‌සේ වැරැදි ප්‍රචාර පවා ගෙන ගොස්‌ තිබෙනවා. සජිත් හෝa රනිල් මේ එකමුතුව සඳහා කොන්දේසි පැමිණෙව්වේ නැහැ.

ප්‍රශ්නය(- සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක ධුරය ලබාදීම ස්‌ථිරවම සිදුවෙනවද?

පිළිතුර(- ලබන 23 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඒ ගැන ස්‌ථිර තීන්දුවක්‌ ගන්නවා.

ප්‍රශ්නය(- ඔය තීන්දුව නිසා රවි කරුණානායක මන්ත්‍රීවරයා විරසක වී යම් තීන්දුවක්‌ ගන්නවා නම් එය පක්‍ෂයේ ඉදිරි ගමනට බාධාවක්‌ යෑයි ඔබ හිතන්නේ නැද්ද?

පිළිතුර(- රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ ඒ පුද්ගලික අදහස්‌ ගැන මම වාද විවාද කරන්න යන්නේ නැහැ. මෙවැනි දේවල් ප්‍රසිද්ධියේ කතාකරන්න මා කැමැති නැහැ. නමුත් එතුමා නම් මේ පිළිබඳව පසුගිය කාලයේ විවිධ අදහස්‌ ප්‍රකාශ කර තිබුණා. පක්‍ෂය ගන්නා තීන්දු තීරණවලට යම් අයෙක්‌ විරුද්ධ නම් කළ යුතුව තිබෙන්නේ ඒවා පත්තරවලට හෝ වෙනත් තැන්වල කතා කිරීම නොවෙයි. අභ්‍යන්තරයේ සාකච්ඡා කර විස¹ ගැනීමයි. අද අපේ එකම අරමුණ විය යුත්තේ රාජපක්‍ෂ රෙජිමය පන්නා දමා එජාප ආණ්‌ඩුවක්‌ බිහිකර ගැනීමයි. ඒ අරමුණ වටා රවි කරුණානායකත්, සජිත් ප්‍රේමදාසත්, ඇතුළු සියලු දෙනා පෙළ ගැසිය යුතුයි. එලෙස කටයුතු නොකර වෙන් වෙන්ව ක්‍රියාකරනවා නම් මාධ්‍ය ඔස්‌සේ විවේචනය කරනවානම් මේ හැම පියවරකින්ම පාක්‍ෂිකයන්ට අසාධාරණයක්‌ මෙන්ම අපේ ගමනට බාධා එල්ලවෙනවා. ඒ නිසා අද කළ යුතුව තිබෙන්නේ තවදුරටත් තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් ඈත් නොවී ආණ්‌ඩුවක්‌ තැනීම සඳහා එක පවුරක්‌ සේ එකට එක්‌ වීමයි.

ප්‍රශ්නය(- ඉදිරි ජනාධිපතිවරණයට විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළත් මේ වන විටත් පොදු අපේක්‍ෂකයා කවුද යන්න තීරණය කිරීමට විපක්‍ෂයට නොහැකි වී තිබෙනවා නේද?

පිළිතුර(- පොදු අපේක්‍ෂකයා විය යුත්තේ බහුතර ජනතාවගේ කැමැත්තක්‌ ලබාගත හැකි පුද්ගලයායි. ඒ අනුව බලන විට අද ආණ්‌ඩුවට විරුද්ධව ඇති ප්‍රධානම බලවේගය මෙන්ම විපක්‍ෂයේ ඡන්දවලින් 90% ක්‌ම තිබෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය සතුවයි. එහෙම නම් එජාපය මුල්වී ඒ සම්බන්ධව තීරණයක්‌ ගත යුතුයි. මේ අනුව පොදු අපේක්‍ෂකයා කව්ද යන්න තීරණයක්‌ ගැනීමේදී එහි 90% ක අයිතිය තිබෙන්නේ අපේ පක්‍ෂයටයි. අපේ පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව ජනාධිපතිවරණයකදී ඊට ඉදිරිපත් වන්නේ පක්‍ෂ නායකයායි. මෙවරද එහි වෙනසක්‌ සිදුවනු ඇතැයි මට කියන්න බැහැ. කෙසේ නමුත් දැනටත් ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා පක්‍ෂයේ සංවිධාන බලමුළු ගැන්වීම අපි ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය(- නමුත් ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කරන්නේ කිසිදු පක්‍ෂයකට සම්බන්ධ නැති පුද්ගලයෙක්‌ විපක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවයි. මේ යෝජනාව සාධාරණ යෝජනාවක්‌ යෑයි ඔබ විශ්වාස කරන්නේ නැද්ද?

පිළිතුර(- ඒ අදහස ඔවුන් ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් වේවි යන බිය හා සැකය නිසා විය හැකියි. නමුත් මේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක්‌ ඉදිරිපත් කිරීමට මා සූදානම් නැහැ. මොකද මේවා ගැන තවමත් අපි සාකච්ඡා කරමින් යනවා. සෝභිත ස්‌වාමීන් වහන්සේ තවම ප්‍රකාශ කර නැහැ උන්වහන්සේ පොදු අපේක්‍ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා කියා. මොකද උන්වහන්සේට ඒ ගැන තනි තීන්දුවක්‌ ගන්නත් බැහැ. නමුත් සෝභිත ස්‌වාමීන් වහන්සේ මේ වන විට යම් යෝජනාවලියක්‌ රට හමුවේ තබා තිබෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂය එම යෝජනාවලට සියයට සියයක්‌ම එකඟයි.

අද රටේ ඡන්ද ප්‍රතිශතය ලෙස බලන විට දෙමළ සහ මුස්‌ලිම් 25% කට ආසන්නයි. එමෙන්ම බෞද්ධ නොවන සෙසු ජන කොටස්‌ වල ඡන්ද 5% යි. සිංහල බෞද්ධ ඡන්ද 70% යි. මෙයින් ආණ්‌ඩුවට කොපමණ ප්‍රමාණයක්‌ යනවාද? විපක්‍ෂයට කොපමණ ප්‍රමාණයක්‌ යනවාද කියා අවධානය යොමු කිරීමෙන් පසුව අපේක්‍ෂකයා තීරණය කළ යුතුයි. මෙහිදී ජනතා විමුක්‌ති පෙරමුණට ලොකු වගකීමක්‌ තිබෙනවා. යූ.එන්.පී. ලේබල් එක අලවාගෙන කතා නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු මූලික කාරණා වෙනුවෙන් එක මතයකට පැමිණීමට. එය අපහසු කාර්යයක්‌ නොවෙයි. මොකද මීට පෙර අපි එකට වැඩකර තිබෙනවා. ඒ නිසා අපි එක න්‍යාය පත්‍රයකින් වැඩකර රට ප්‍රතික්‌ෂේප කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. ඊට පසු වෙනම තරග කරමින් අපට අනන්‍ය වූ ප්‍රතිපත්ති ඔස්‌සේ කටයුතු කරමු. දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති එක සමාන නැහැ. නමුත් අපි සියලු දෙනාගේ අරමුණ විය යුත්තේ මේ ආණ්‌ඩුව හා ජනාධිපතිවරයා ගෙදර යෑවීමයි.

ප්‍රශ්නය(- මෙවැනි තත්ත්වයක්‌ මතුපිටින් පෙන්නුම් කළත් බටහිර රටවල සහයෝගය මත විපක්‍ෂය ජනාධිපතිවරණයට අපේක්‍ෂකයන් කිහිප දෙනෙක්‌ ඉදිරිපත් කර දෙවන මනාපය ගණන් කිරීමට සලස්‌වා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පැරැද්දවීමේ කුමන්ත්‍රණයක නියෑළී සිටින බවට විමල් වීරවංශ ඇමැතිවරයා චෝදනා කරනවා.

පිළිතුර(- විමල් වීරවංශ හැමදාම කළේ බොරුව බව අද ජනතාවට ඔප්පු වී තිබෙනවා. ඔහු පසුගිය කාලේ විදේශ රටවල් විවේචනය කළා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති විවේචනය කරනවා. නිලධාරීන්ට දොස්‌ කියනවා. උපවාස කරනවා. විරෝධතා දක්‌වනවා. ආණ්‌ඩුවෙන් ඉවත්වෙන බව කියනවා. මේ මොනව කළත් අන්තිමට හිට ගන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කකුල් දෙක ළඟ. මොහු හැම විටම වරදාන වරප්‍රසාද වෙනුවෙන් ආණ්‌ඩුව ආරක්‍ෂා කිරීමේ රඟපෑමක නියෑළෙන පුද්ගලයෙක්‌ බව අමුතුවෙන් කිවයුතු නැහැ.

ප්‍රශ්නය(- මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමේ හැකියාවක්‌ තිබෙන බවටත් එවැනි හැකියාවක්‌ නැති බවටත් තර්ක විතර්ක මතුව තිබෙනවා. එජාප මහ ලේකම්වරයා ලෙස මේ සම්බන්ධව ඔබේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර(- මේ සම්බන්ධව ව්‍යවස්‌ථානුකූල ප්‍රශ්නයක්‌ මතුව තිබෙනවා. සරත් නන්ද සිල්වා මහතා ඉතා පැහැදිලිව ඒ තර්කය ඉදිරිපත්කර තිබුණා. මගේ විශ්වාසය අනුවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එහි සිදුකර ඇති සංශෝධනවලට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකියි. කෙසේ වෙතත් මේ සම්බන්ධව අවසන් අර්ථ නිරූපණය ලබාදීමේ අයිතිය තිබෙන්නේ ශේ්‍රෂ්ඨාධි-කරණයටයි. නමුත් පසුගිය නඩු තීන්දු දෙස බලනවිට නියම අර්ථ නිරූපණයක්‌ ලබා ගැනීමට නම් වෙනම ව්‍යවස්‌ථා අර්ථ නිරූපණ සභාවක්‌ ඇති කළ යුතුයි. එවිට අපේ තර්ක සාර්ථක කරන තීන්දුවක්‌ ලබාගත හැකියි.

ප්‍රශ්නය(- විදුලිබල සහ ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ජනතාවට සහන ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව විපක්‍ෂයේ දැඩි විවේචනයට ලක්‌ව තිබෙනවා. මෙය අසාධාරණ විවේචනයක්‌ යෑයි ඔබ හිතන්නේ නැද්ද?

පිළිතුර(- විදුලිය හා තෙල් මිල හිටි හැටියේම අඩුකිරීම ආණ්‌ඩුවේ ඡන්ද ගුංඩුවක්‌ බව පැහැදිලියි. පසුගිය කාලය දෙස බලන විට දිගින් දිගටම ලෝක වෙළෙඳ පොළ තෙල් මිල පහත වැටුණා. ඒ කිසිම අවස්‌ථාවක ආණ්‌ඩුව එම සහනය ජනතාවට ලබාදුන්නේ නැහැ. ආණ්‌ඩුව වසර ගණනක්‌ ඩීසල් ලීටරයකින් පෙට්‍රල් ලීටරයකින් රු. 80 ක පමණ ලාභ ලැබුවා. එමෙන්ම ඩීසල් ලීටරයකින් රු. 30 ක පමණ ලාභ ලැබුවා. විදුලි බිලත් එහෙමයි. ඉන්ධන ගැළපුම් ගාස්‌තුව ඉවත් කිරීමට හැකියාව තිබුණත් එය කළේ නැහැ. ඒ නිසා අපි ආණ්‌ඩුවට කියන්නේ ඇස්‌ බැන්දුම් දැන්වත් නතර කර ජනතාවට සහන ලබා දීම සඳහා ආණ්‌ඩුවේ ලාභයෙන් හරි අඩක්‌ යොදවන ලෙසයි. අද මේ ආණ්‌ඩුව දූෂණයට හොරකමට යටවෙලා. ඉදිවන හැම සංවර්ධන ව්‍යාපෘතියකින්ම කොමිස්‌ ගහනවා. ඉතිහාසයේ කිසිදු ආණ්‌ඩුවක්‌ මෙලෙස හොරකම් කළේ නැහැ.

ප්‍රශ්නය(- මේ වන විට රටේ යෝධ සංවර්ධනයක්‌ ඇතිවී තිබෙනවා. කොළඹ නගරය අලංකාර වෙලා. ලංකාවේ සම්පත් වැඩිවෙලා. වරාය, ගුවන්තොටුපළවල් ඉදිවෙලා. අධිවේගී මාර්ග ඉදිවෙලා. විපක්‍ෂය මේ හොඳ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි.

පිළිතුර(- රටක යටිතල පහසුකම් දියුණුවන එක හොඳයි. එදා එජාප රජය යටතේ යෝධ සංවර්ධන වැඩසටහන් කළ නමුත් ඒවා රටට බරක්‌ වූයේ නැහැ. ආර්ථිකයට ශක්‌තියක්‌ වුණා. අද කොමිස්‌ ගැසීම අරමුණු කරගෙන දියත් කරන සංවර්ධනය නිසා ඒවා ආර්ථිකයට බරක්‌වෙලා. මේ රටේ නූපන් දරු දැරියන් පවා විදේශ රටවලට ප්‍රකෝටි ගණනින් ණයකරුවන් බවට පත් කරලා. මෙය සංවර්ධනයක්‌ නොව විනාශයක්‌ බව කිව යුතුයි.
 
 
< Prev   Next >

Public Space Sri Lanka - Tissa | ART TV

Face to Face Sirasa TV 16th October 2017

Dinamina Interview

dinamina_int2.jpg

INSIGHT Episode - Tissa Attanayake

Derana- INSIGHT: Sunday @ 8.30 PM

12400925_10153498675527763_542483058450645811_n.png

Sirsa TV -News Line

tissa-hiru-tv.jpg

VFM-Siddamulla-Tom @ 7 AM

vfmfront.jpg

Sathhanda 2016-03-27

aaaa.jpg

Rivira 15th March

rivira-15th.jpg

LAKADEEPA 18th Feb

lankadeepa4.jpg

Lanka News Web

news_web_baner.jpg

Rivira 17/01/2016

untitled-2.jpg

SATHHANDA Interview

newparty22.jpg

Cartoons